(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹා ගිය කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. සංගීත් කුරේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක්ද, දිනේෂ් චන්දිමාල් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 45 ක්ද, ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 48 ක්ද රැස්කරමින් කෝල්ට්ස් පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඒස් කැපිටල් ක්‍රීඩකයෝ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 290 ක් ලබාගත් අතර දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ (61) සහ කවිඳු කුලසේකර (61) එහිදී අර්ධ ශතක ලබාගත්හ. පවන්තගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 8 කින්ද, කවිඳුගේ ඉනිම හතරේ පහර 9 කින්ද සමන්විත විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 282 කට සීමා කිරීමට ඉසිත විජේසුන්දර ප්‍රමුඛ ඒස් කැපිටල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ ඉසිත ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගත් අතර චමෝද් බට්ටගේ ලකුණු 47 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් විය.
ලකුණු 8 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ඒස් කැපිටල් කණ්ඩායමට අකිල ධනංජයගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 169 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 75 කට කඩුලු 4 ක් දවාගත් අකිල, දෙවැනි ඉනිමේදී ලකුණු 69 කට කඩුලු 7 ක් බිඳහෙළමින් මෙම තරගයේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ දමාගත්තේය.
ඒස් කැපිටල්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 290
(පවන්ත වීරසිංහ 61, නිමේෂ ගුණසිංහ 20, කවිඳු ආමන්ත 26, රනේෂ් සිල්වා 42, කවිඳු කුලසේකර 61, රවීන් ද සිල්වා නොදැවී 35, ඉසිත විජේසුන්දර 21, අකිල ධනංජය 75/4, දුනිත් වෙල්ලාලගේ 48/2, උදිත් මධුෂාන් 54/2)
කොල්ට්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 282
(සංගීත් කුරේ 27, ධනංජය ලක්ෂාන් 46, ඇන්ජලෝ මැතිව්ස් 63, දුනිත් වෙල්ලාලගේ 60, මුදිත ලක්ෂාන් 54, ඉසිත විජේසුන්දර 47/4, චමෝද් බට්ටගේ 57/3)
ඒස් කැපිටල්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 169
(පවන්ත වීරසිංහ 35, රනේෂ් සිල්වා 50, කවිඳු කුලසේකර 34, රවීන් ද සිල්වා නොදැවී 22, අකිල ධනංජය 69/7, දුනිත් වෙල්ලාලගේ 37/2)
කොල්ට්ස් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 178
(දිනේෂ් චන්දිමාල් 45, සංගීත් කුරේ 52, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 48, වනුජ සහන් 73/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.