Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝපා ඇමරිකා පාපන්දු තරගාවලිය 14 වැනිදා සිට

කෝපා ඇමරිකා පාපන්දු තරගාවලිය 14 වැනිදා සිට

editorial - 2021 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය 47 වැනි වරටත් සංවිධානය කරන ‘කෝපා ඇමරිකා‘ පාපන්දු කුසලාන තරගාවලිය රටවල් 10 ක සහභාගීත්වයෙන් මේ මස 14 වැනිදා සිට ජූලි මස 11 වැනිදා දක්වා බ්‍රසීලයේදී පැවැත්වේ.

ඉකුත් වසරේ (2020) ජූනි මස 12 වැනිදා සිට ජූලි මස 12 වැනිදා දක්වා කොලොම්බියාවේදී සහ ආර්ජන්ටිනාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය, කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසර දක්වා කල් දැමීමට සිදුවිය.

කොලොම්බියාවේ ජනාධිපතිවරයාට එරෙහිව එරට තුළ පවතින විරෝධතාවන් හේතුවෙන් ‍මේ වසරේ මැයි මස 20 වැනිදා තරගාවලියේ සම සත්කාරකත්වයෙන් කොලොම්බියාව ඉවත් කිරීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය කටයුතු කළේය. තම රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් තරගාවලියේ සෙසු සත්කාරක රට වූ ආජන්ටිනාවද මැයි මස 30 වැනිදා එහි සත්කාරකත්වයෙන් ඉවත් විය.

ඒ අනුව මෙවර තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා අවසන් වරට (2019 වසරේදී) එහි ශූරයන් බවට පත් වූ බ්‍රසීලයට ආරාධනා කිරීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය ඉකුත් සතියේදී පියවර ගත්තේය. එම ආරධනය පිළිගත් බ්‍රසීල ජනාධිපතිවරයා දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය සමග එක්ව තරගාවලියේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා බ්‍රසීල පාපන්දු සම්මේලනයට අවසර දුන්නේය.

මෙම තරගාවලියේ මූලික වටය කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වේ. එම කාණ්ඩ දෙකේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලිය පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජූලි මස 3 වැනිදා සහ 4 වැනිදා පැවැත්වෙන අතර පළමු අවසන් පූර්ව තරගය ජූලි මස 6 වැනිදාද, දෙවැනි අවසන් පූර්ව තරගය ජූලි මස 7 වැනිදාද පැවැත්වීමට නියමිතය.

තෙවැනි ස්ථානය තේරීමේ තරගය ජූලි මස 10 වැනිදා පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි මස 11 වැනිදාය.

සත්කාරක බ්‍රසීලය සමගින් කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු රාජ්‍යය සහ වෙනිසියුලාව ‘ඒ’ කාණ්ඩය‍ යටතේ තරගාවලියට එක්ව සිටින අතර ඉකුත් සතියේදී සත්කාරකත්වයෙන් ඉවත් වූ ආජන්ටිනාව සමගින් බොලීවියාව, චිලී රාජ්‍යය, පැරගුවේ සහ උරුගුවේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

ඔවුන් අතරින් උරුගුවේ 15 වරක්ද, ආජන්ටිනාව 14 වරක්ද, බ්‍රසීලය 9 වරක්ද කොපා ඇමරිකා කුසලානයට හිමිකම් කියා තිබේ.

ආජන්ටිනාවේ ලයනල් මෙසී, සර්ජියෝ ඇගියේරෝ, බ්‍රසීලයේ නේමාර් ඩි’ සිල්වා, ඇලිසන් බෙකර්, පේරු රාජ්‍යයේ ‍පාවුලෝ ගුවෙරෙරෝ, ක්‍රිස්ටියන් කියේවා, චිලී රාජ්‍යයේ ආටුරෝ විඩාල්, ඇලෙක්සිස් සැන්චෙස් සහ උරුගුවේහි ලුයිස් සුවාරිස් මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් වැඩිම අවධානයක් දිනාගත් ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

 
-036

 


අදහස් (0)

කෝපා ඇමරිකා පාපන්දු තරගාවලිය 14 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.