Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව් ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

කොදෙව් ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර ට්‍රිනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම ඕවර 39.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායිකා ස්ටැෆ්නි ටේලර් (නොදැවී 60) සහ ඩීන්ඩ්‍රා ඩොටින් (නොදැවී 37) කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 83 කදී වාර්තා වූ ස්ටැෆ්නි ටේලර්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 38 කදී වාර්තා වූ ඩීන්ඩ්‍රා ඩොටින්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ආරම්භක පිතිකාරිණියන් වූ හේලි මැතිව්ස් හතරේ පහරක් සමග ලකුණු 25 ක්ද, කයිසියා නයිට් හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 46.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 162 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ආරම්භක පිතිකාරිණි යෂෝධා මෙන්ඩිස් පන්දු 32 කදී හතරේ පහර 7 ක් සමගින් වේගවත් ලකුණු 34 ක් රැස්කළේය.

එහිදී පන්දු 34 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර ඩිලානි මනෝදරා පන්දු 51 කදී ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අෆී ෆ්ලෙචර් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් නායිකා ස්ටැෆ්නි ටේලර් සහ ඇනිසා මොහොමඞ් කඩුලු 2 බැගින් දවාගත්හ.


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 162
(නිපුනි හංසිකා 18, යෂෝධා මෙන්ඩිස් 34, චමරි අතපත්තු 31, ඩිලානි මනෝදරා 26, ශ්‍රීපාලි වීරක්කොඩි 19, රෙබේකා වැන්ඩොට් 17, අෆී ෆ්ලෙචර් 24/3, ඇනිසා මොහොමඞ් 16/2, ස්ටැෆ්නි ටේලර් 31/2)

බ.ඉ. කොදෙව් කාන්තා පිල - ඕවර 39.4 කදී කඩුලු 3 ක් දැවී 163
(හේලි මැතිව්ස් 25, කයිසියා නයිට් 24, ස්ටැෆ්නි ටේලර් නොදැවී 60, ඩීන්ඩ්‍රා ඩොටින් නොදැවී 37)


- 036

ඡායාරූපය - බ.ඉ.කොදෙව් ක්‍රිකට් නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි.


අදහස් (0)

කොදෙව් ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.