Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කායවර්ධන සම්මේලනයෙන් දැඩි විරෝධය

කායවර්ධන සම්මේලනයෙන් දැඩි විරෝධය

editorial - 2023 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගයෙන් හා අනුමැතියෙන් 2024 ජුනි 4 සිට 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව කියන 14 වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතා තරගාවලිය, ජාතික සංගමය වන  ශ්‍රී ලංකා කායවර්ධන හා ශරිරික යෝග්‍යතා සම්මේලනයේ අනුදැනුමකින් තොරව ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කිරීම හෙළා දකින බව එහි සභාපති ලයනල් කුමාර මහතා පැවසීය.

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කොළඹ දී ඉකුත්දා මුණගැසුණු ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ (ඩබ්ලිව්.බී.පී.ඊ.) ඉහළම පෙළේ දූත පිරිසක් සමග ක්‍රීඩා අමාත්‍යංශයේ දී ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර සිටියේ 14 වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතා තරගාවලිය ඉහත දිනවල දී කොළඹ දී පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි. 

එහිදී  ක්‍රීඩා අමාත්‍යංශයේ  නිවේදනයක දැක්වුණේ ලෝක කායවර්ධන හා ශරීරික ක්‍රීඩා සම්මේලනයේ සභාපති දාකුත් පර්ල් මුවා, එහි විධායක අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා වයි.කාම්, එහි මහ ලේකම් මේකත් එම්. පතාරා යන මහත්ම මහත්මීන් සමග අමාත්‍යංශයේ දී සිදු කළ සාකච්ඡාවකින්  පසුව තරගාවලිය  කොළඹදී පැවැත්වීමට දින නියමවූ බවත් ඒ සඳහා නියෝජිත පිරිසට ක්‍රීඩා ඇමැතිවරයාගේ පූර්ණ සහයෝගය පළකර සිටි බවත් ඊට උනන්දුවක් දැක්වීම පිළිබඳව ඔවුන්ට ක්‍රීඩා ඇමතිවරයාගේ අතිශය සතුට පළ කර සිටි බවත්ය.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා මෙසේද  පැවසීය.

“මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්. මේ කියන ලෝක කායවර්ධන සම්මේලනය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නිත්‍යානුකූල කායවර්ධන පරිපාලන ඒකකය වන  ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පිළිගන්නවත් ඔවුන් යටතේ ජාත්‍යන්තර ලියාපදිංචි කිරීමක්වත් කරලා නෑ.

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා මුණගැසී රටේ කායවර්ධන ක්‍රීඩා පරිපාලනයේ දැනට පැන නැගී තිබෙන ගැටළු සාකච්ඡා කරන්න අපි අවස්ථා කීපයකදීම උත්සාහ ගත්තත් ඊට මේ වන තුරුත් ක්‍රීඩා ඇමතිවරයාගෙන් ප්‍රතිචාරයක් පළවෙලා නෑ.

එහෙම තියෙද්දි අපිට නොලැබුණු සාකච්ඡා ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය කිසිසේත්  පිළිනොගන්නා  ලෝක කායවර්ධන සම්මේලනයක නිලධාරීන්ට ලැබී තිබීම ඉතා කනගාටුවක්. ඔවුන් ශ්‍රී ලංකාවේ මින් පෙර ක්‍රියාකාරීවීමට දැරූ උත්සාහයන් (වැඩසටහන්) නිත්‍යානුකූල නොවන බව දන්වලා අපි අධිකරණයේ නඩුත් පවරලා තිබෙනවා.

කොටින්ම ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ මතය වන්නේ ඇමැතිවරයා මුණගැසුණු මෙම ලෝක කායවර්ධන සම්මේලනය ව්‍යාජ එකක් හැටියටයි. ඉදිරියේදි මේ සම්බන්ධයෙන් අපි ක්‍රීඩා ඇමතිවරයා මුණගැසී දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා”. 


අදහස් (0)

කායවර්ධන සම්මේලනයෙන් දැඩි විරෝධය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.