Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් සභාපති තනතුරට නාමයෝජනා 4 ක්

ක්‍රිකට් සභාපති තනතුරට නාමයෝජනා 4 ක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කිරීමට ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා යන මහත්වරු නාමයෝජනා අද (17) බාරදුන්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2018 වසරේ සිට 2021 වසර දක්වා වන පාලන කාලය වෙනුවෙන් වන නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අද පස්වරු 4.00 ට අවසන් විය.

මෙහිදී සභාපති ධූරයට ‘සුමතිපාල’ පාර්ශවයෙන් හිටපු සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා සහ හිටපු භාණ්ඩාගාරිකවරයකු වන ශම්මි සිල්වා යන මහත්වරු ඉදිරිපත්ව සිටිති.

‘රණතුංග’ පාර්ශවයෙන් සභාපති ධූරයට හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස සහ හිටපු උප සභාපතිවරයකු වන කේ. මතිවානන් යන මහත්වරු ඉදිරිපත්ව සිටිති.

උප සභාපති ධුර දෙක සඳහා හය දෙනක් ඉදිරිපත්ව සිටිති. ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග සහ ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යන මහත්වරු උප සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කිරීම කැපී පෙනේ.

ලේකම් ධූරයට හතර දෙනකු නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ‘රණතුංග’ පාර්ශවයෙන් හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ඉදිරිපත්ව සිටියි.

බන්දුල දිසානායක, ශම්මි සිල්වා සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ‘සුමතිපාල’ පාර්ශවයෙන් ලේකම් ධූරයට නාමයෝජනා ඉදිරිපත්කර තිබේ.

භාණ්ඩාගාරික ධූරයට ‘රණතුංග’ පාර්ශවයෙන් ඊස්මන් නාරංගොඩ සහ නලීන් වික්‍රමසිංහ යන මහත්වරු ද, ‘සුමතිපාල’ පාර්ශවයෙන් ලසන්ත වික්‍රමසිංහ, රවීන් වික්‍රමරත්න සහ ශම්මි සිල්වා යන මහත්වරු ද, නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

මෙහිදී ‘සුමතිපාල’ පාර්ශවයෙන් ශම්මි සිල්වා මහතා තනතුරු හතරකට ද, මොහාන් ද සිල්වා මහතා තනතුරු තුනකට ද, නාමයෝජනා ඉදිරිපත්කර තිබේ.  

 මෙම නිමයෝජනාවලට එරෙහිව විරෝධතා මේ මස 31 වැනිදා දක්වා ඉදිරිපත් කළ හැකි අතර විරෝධතා සළකා බැලීම ලබන ජනවාරි මස 1 සහ 2 දෙදින පැවැත්වීමට නියමිතය.

නිලවරණය ලබන පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පැවසීය.  
හිටපු අභියාචනාධිකරණ විනිසුරු පී. ඩබ්ලිව්. ඩී. සී. ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කමිටුව මෙම නාමයෝජනා බාරගත්තේය.

 

ක්‍රිකට් නිලවරණය (2018) සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා

සභාපති (01) - මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා
උප සභාපති (02) - ශම්මි සිල්වා, රවීන් වික්‍රමරත්න, කේ. මතිවානන්, අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ මොහාන් ද සිල්වා
ලේකම් (01) - බන්දුල දිසානායක, නිශාන්ත රණතුංග, ශම්මි සිල්වා සහ මොහාන් ද සිල්වා
භාණ්ඩාගාරික (01) - ලසන්ත වික්‍රමසිංහ, රවීන් වික්‍රමරත්න, ඊස්මන් නාරංගොඩ, නලීන් වික්‍රමසිංහ සහ ශම්මි සිල්වා
උප ලේකම් (01) - ක්‍රිෂාන්ත කපුවත්ත, බන්දුල දිසානායක, රවීන් වික්‍රමරත්න, ගිහාන් වීරරසිංහ සහ හිරන්ත පෙරේරා
උප භාණ්ඩාගාරික (01) - ලලිත් රඹුක්වැල්ල, නලීන් වික්‍රමසිංහ සහ සංජය සේදර සෙනරත්

 


අදහස් (0)

ක්‍රිකට් සභාපති තනතුරට නාමයෝජනා 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.