වසස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (9 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 53 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි.
මුලු ලකුණු සංඛ්‍යාව 64 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 6 ම බිඳවැටුණ අතර එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිමට ජවයක් එක් කළ හසිත බෝයගොඩ (69) සහ අෂේන් බණ්ඩාර (51), 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 78 කට මුහුණදුන් බෝයගොඩ සිය අර්ධ ශතකය හතරේ පහර 10 කින් අලංකාර කළ අතර පන්දු 72 කදී වාර්තා වූ බණ්ඩාරගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විල් සදර්ලන්ඞ් සහ ජේසන් රැල්ස්ටන් කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 78 ක් රැස්කිරීමට ජොනතන් මේලෝ සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු ජැක් එඞ්වඞ්ස් පන්දු 76 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
තිසරු රෂ්මික, නිපුන් මාලිංග සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඕස්ට්‍රේලියානු 19 පහළ පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 251
(ජැක් එඞ්වඞ් 50, ජේසන් සැන්හා 27, ජොනතන් මෙර්ලෝ 78, පරම් උප්පාල් 22, නේතන් මැක්සුවීන්සි 31, ප්‍රවීන් ජයවික්‍රම 18/2, නිපුන් මාලිංග 41/2, තිසරු රෂ්මික 59/2)
ශ්‍රී ලංකා 19 පහළ පිල - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 198
(හසිත බෝයගොඩ 69, අෂේන් බණ්ඩාර 51, ජෙහාන් ඩැනියෙල් 20, විල් සදර්ලන්ඞ් 25/3, ජේසන් රැල්ස්ටන් 36/3, ඔස්ටින් වෝ 27/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.