Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමැති අණින් පුහුණුකරුවෝ නව දෙනෙක් ටොරින්ටන් නේවාසිකාගාරයෙන් ඉවතට

ඇමැති අණින් පුහුණුකරුවෝ නව දෙනෙක් ටොරින්ටන් නේවාසිකාගාරයෙන් ඉවතට

editorial - 2025 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ටොරින්ටන් පෙදෙසේ නේවාසිකාගාරයෙන් පුහුණුකරුවන් නව දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මලල ක්‍රීඩා, බර ඉසිලීම් හා පැර ක්‍රීඩා යන ඉසව් වලට අයත් උසස් දක්ෂතා ප්‍රවර්ධන පුහුණු සංචිතවල සේවය කළ පුහුණුකරුවන් පිරිසක් මෙසේ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ අණින් එම නේවාසිකාගාරයෙන් ඉවත් කර ඇතැයිද වාර්තාවේ.

ඔවුන් වසර ගණනාවක් තිස්සේ එහි නේවාසික පහසුකම් ලබමින් සිටි අය වන අතර ශ්‍රී ලංකාවට ළගාවූ විදේශීය පුහුණුකරුවන් පිරිසකට ඉඩ ලබා ගැනීම සදහා මෙම දේශීය පුහුණුකරුවන් පිරිස ටොරින්ටන්  නේවාසිකාගාරයෙන් ඉවත් කළ බවද පැවැසේ.

එසේ නේවාසිකාගාරයෙන් ඉවත් කළ පුහුණුකරුවන් නව දෙනා අතර ප්‍රධාන ජාතික පුහුණුකරුවෝ දෙදෙනෙක්ද වෙති. ටොරින්ටන් නේවාසිකාගාරයෙන් එසේ ඉවත්වීමට සිදුවූ පුහුණුකරුවෙකු ලංකාදීප ය කළ විමසුමකදී  පැවැසුවේ උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතවල දෛනික පුහුණුවීම් මෙහෙයවීම සදහා දැන් තමන්ට බොහෝ දුර බැහර සිට පැමිණීමට සිදුව තිබෙන බවයි.

එයින් සංචිතවල පුහුණු කටයුතු නිසි ලෙස පවත්වා ගෙන යාමට බාධා එල්ලවී ඇතැයිද ඔහු පැවැසීය.ඒ අතර උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතවල  පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ගෙවීම්ද මේ වන විට ඇණ හිට ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

එළඹෙන 2026 වසරේදී ශ්‍රී ලංකාව සහභාගි  වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල හා ආසියානු පැර ක්‍රීඩා උළෙල  ඉලක්ක කරමින් උසස් දක්ෂතා ප්‍රවර්ධන පුහුණු සංචිත ක්‍රියාත්මක වේ.


අදහස් (0)

ඇමැති අණින් පුහුණුකරුවෝ නව දෙනෙක් ටොරින්ටන් නේවාසිකාගාරයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.