Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමැති අණින් නිලධාරියෙක් ඉවතට : පුහුණුවට ක්‍රීඩාංගණ නෑ

ඇමැති අණින් නිලධාරියෙක් ඉවතට : පුහුණුවට ක්‍රීඩාංගණ නෑ

editorial - 2025 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ ජෙන්ජූ නුවරදී ජූනි 27 වැනිදා ආරම්භ වන 13 වැනි ආසියානු දැල්පන්දු යොවුන් තරග සංචාරයට සහභාගිවීමට උනන්දුව සිටි බව කියන ක්‍රීඩා අමාත්‍යාංශයේ   නිලධාරියෙකු ඉන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නියෝග කර ඇතැයි වාර්තාවේ.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු වන මොහු මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙස පත්වීම් ලබා ගැනීමට උනන්දුවී සිටි අයෙකු බවද පැවැසේ.ශ්‍රී ලංකාව මෙම තරග සංචාරයට සූදානම් වූ මුල පටන් මොහු එහි කටයුතු වලට අනිසි මැදිහත් වීම් කළ බවට චෝදනා ලබා තිබේ.

කෙසේවූවත් ඔහු අපේක්ෂා කරන තනතුරෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් නොවන බැවින් ඔහු සංචාරයෙන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස්දී තිබේ.

ජූනි 27 සිට ජූලි 4 වැනිදා දක්වා  කොරියාවේදී පැවැත්වෙන 13 වැනි ආසියානු දැල්පන්දු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි 24 වැනිදා දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.

ඒ සදහා නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනා හා අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනාගෙන් සමන්විත පුහුණු සංචිතයේ නේවාසික පුහුණුවීම් දැන් ආරම්භ කර තිබේ.සංචිතය ටොරිංටන් පෙදෙසේ ක්‍රීඩා නේවාසිකාගාරයේ ස්ථාපිත කර තිබේ.

කෙසේවූවත් සංචිතයේ නේවාසික පුහුණුවීම් මෙතැන් සිට පවත්වා ගෙන යාමේ ගැටළුවක් උද්ගතව ඇතැයිද වාර්තාවේ.ඊට හේතුව පුහුණුවීම් සදහා වඩාත්ම සුදුසු කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ජූනි මාසය පුරාම වෙන් කර ගැනීමේ අපහසුතාවයක් පැන නැගීම බවද වාර්තාවේ.

ඒ සදහා කොළඹ අවට විකල්ප ක්‍රීඩාංගණ වෙන් කර ගැනීමද ඉහත කාල වකුවානුවේදී අපහසුවී ඇතැයි තවදුරටත් වාර්තා වන සිදුවීමකි.ඒ හේතුවෙන් පුහුණු සංචිතයේ ක්‍රීඩිකාවන්ට බණ්ඩාරවෙල ක්‍රීඩා සංකීර්ණයේ හා ටොරිංටන් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේ සීමිත පුහුණුවීම් අවස්ථා පමණක් හිමිව තිබේ.

 තරගාවලිය ආරම්භ වන ජූනි 27 වැනිදා ශ්‍රී ලංකාව ඉන්දියාව සමග මූලික වටයේ සිය පළමු තරගයට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකාව අවසන් වරට තරගාවලිය ජය ගෙන ඇත්තේ 2013 බෲනායි රාජ්‍යයේදී පැවැති අට වැනි තරගාවලියයි.අවසන් වරට 2023 වසරේ දකුණු කොරියාව විසින්ම සත්කාරය  දැරූ 12 වැනි තරගාවලියේ ශ්‍රී ලංකාව හිමි කර ගෙන ඇත්තේ  තෙවැනි ස්ථානයයි.


අදහස් (0)

ඇමැති අණින් නිලධාරියෙක් ඉවතට : පුහුණුවට ක්‍රීඩාංගණ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.