ක්‍රීඩා ඇමැතිවරයා අනුමැතිය ලබාදුන් සිය නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තරම් මලල ක්‍රීඩා සංගමයේ නිලධාරිවාදය බලවත්වී තිබෙන බවත් සාධාරණයක් පතා තමන් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාට පැමිණිලි කළ බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයට නාමයෝජනා බාර දුන් ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ”ලංකාදීප” යට පැවසීය.
ක්‍රීඩා ඇමැතිවරයා තමන්ට සාධාරණයක් කිරීමට ප්‍රතිඥා දී තිබෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා එහිදී පැවසීය.
ලබන මැයි 14 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී සභාපති ධුරයට තරග වැදීමේ අපේක්ෂාවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පෙරේදා (20) රැස්වූ එම සංගමයේ මධ්‍යම කමිටුව තීරණය කළේය. ඒ නාමයෝජනාව සමග ක්‍රීඩා ඇමැති අනුමැතිය ලබාගත් ලිපිය එකවර ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත්වී ඇතැයි යන චෝදනාව මතය.
හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.
”මම මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයට ඉදිරිපත් වුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් පසුගිය දිනවල කළ ඉල්ලීම් සලකා බලලයි.
දැන් මේ අවුරුද්දේ සල්ලි නෑ කියලා ජාත්‍යන්තර තරග සංචාර හතරකට ශ්‍රී ලංකාව මේ වෙනකොට සහභාගී වෙලා නෑ. පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ කඩා වැටුණු රටේ මලල ක්‍රීඩාව ගොඩගන්න අපට හොඳ වැඩපිළිවෙළක් තිබෙනවා. ඉදිරියේදී එය මාධ්‍ය වෙත අපි එළිදක්වනවා.”
මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ මලල ක්‍රීඩා නිිලවරණයේ දී සුගත් තිලකරත්න මහතා සමග තරග වැදීමට තමා සූදානම් බවය. සුගත් තිලකරත්න හා උපාලි කුමාරසිරි යන මහත්වරු මෙවර මලල ක්‍රීඩා නිලවරණයේ දී සභාපති ධුරයට තරග වදින සෙසු අපේක්ෂකයෝ වෙති.
මෙවර මලල ක්‍රීඩා නිලවරණයට බාරදුන් නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වූ අතර, අවසන් මොහොතේ දී ඇමැති අනුමැතිය සහිත ලිපියක් ඉදිරිපත් කරමින් යළිත් භාණ්ඩාගාරික ධුරයට ඉදිරිපත්වීමට උත්සාහ ගත් කිරාන් අතපත්තු මහතා කලින් නාමයෝජනාව ඉදිරිපත් කර නොතිබූ බැවින් ඔහුට තරග කළ නොහැකි විය. එබැවින් ට්‍රොනාඩෝ ජයසුන්්දර මහතා මෙවර භාණ්ඩාගාරික ධුරයට නිතරගයෙන් පත්ව තිබේ.
මේ අතර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා හිටපු ක්‍රීඩිකා ගීතානි පතිරණවසම් හා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම්වරයකු වන එච්.යූ. සිල්වා යන මහත්ම මහත්මීන් උපසභාපති ධුර සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ද ප්‍රතික්ෂේප වී තිබේ.
මේ අතර හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මලල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයකු පැවසූවේ ප්‍රනාන්දු මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ක්‍රීඩා පනතට අනුකූල බවයි.
මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීවාදයක් ගැන කතා කරන නමුත් ඔහු කිසිදු දිනක එහි තනතුරක් දැරූ අයකු නොවන බැවින් ඔහු එවැනි ප්‍රකාශයක් කිරීමේ කිසිදු සාධාරණයක් නැතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.