Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු ක්‍රීඩා පදක්කම්ලාභීන්ට ඔලිම්පික් කමිටුවෙන් හරසර

ආසියානු ක්‍රීඩා පදක්කම්ලාභීන්ට ඔලිම්පික් කමිටුවෙන් හරසර

editorial - 2023 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ ‘හංජෝ’ නුවරදී නිමාවට පත්වූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රවණාගාරයේදී ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් දිනා, එහි 26 වැනි ස්ථානය ලැබීය. කෙසේ වුවත්, රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න මෙන්ම ක්‍රිකට් කාන්තා රිදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් (කාන්තා) කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙම අවස්ථාවට සහභාගි නොවූවාය.

තරුෂි කරුණාරත්න පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන අවස්ථාව වන විට සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙමින් කොළඹ සුගතදාස පිටියේ රැඳී සිටීමත්, චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටීමත් නිසා ඔවුන්ගේ සහභාගිත්වය සිදු නොවීය.

රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මෙම අවස්ථාවට උප නායිකා ඕෂධී රණසිංහ සහභාගි වූවාය.

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

එහිදී ක්‍රීඩා උළෙලේදී සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිෂාන්ත පියසේන, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු, මහාචාර්ය චතුරංග රණසිංහ යන මහත්වරු අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවේ සභාවේ අසුන් ගෙන සිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මූලාසනයෙන් අවසර ගෙන පැවසුවේ හංජෝ ආසියානු මලල ක්‍රීඩා පදක්කම්ලාභීන්ට රුපියල් කෝටියකට    වටිනාකමට සරිලන ආකාරයෙන්  ක්‍රීඩකයන්ගේ සුබසාධනය සඳහාත් ආසියානු ක්‍රීඩා පදක්කම්ලාභීන්ට මුදල් ත්‍යාග  ලබාදීම සම්බන්ධයෙන්  ‘දම්රෝ’ ආයතනයට විශේෂ කෘතඥතාව පළ කර සිටින බවයි.

‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගිත්වයට අනුග්‍රහය දැක්වූ ඩී.එස්.අයි. පාවහන් ආයතනයේ හා ලොවි (සිලෝන්) ආයතනයේ ප්‍රධානීහු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

පිළිගැනීමේ උත්සවයේදී මීටර 4x400 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම ලද ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වූ නදීෂා රාමනායක, ජයෙෂි උත්තරා, සයුරි මෙන්ඩිස්, එහි පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සහාය දිවීමේ කණ්ඩායමේ අරුණ දර්ශන, කේෂාන් පබසර, නිකූ, රාජිත රාජකරුණා, කාලිංග කුමාරගේ ද, හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීම වෙනුවෙන් නදීෂා දිල්හානි ලේකම්ගේ ද ඇගැයීමට ලක්වූහ.


අදහස් (0)

ආසියානු ක්‍රීඩා පදක්කම්ලාභීන්ට ඔලිම්පික් කමිටුවෙන් හරසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.