Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 156 ක්

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 156 ක්

editorial - 2023 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ ‘‘හන්ජෝ’’ නුවර දී ලබන සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ඉසව් 21 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක් හා නිලධාරීන් 56 දෙනෙකුගෙන් සමන්විත සමස්ත කණ්ඩායමක් සහභාගී කිරීමට අපේක්‍ෂා කරන බව ජාතික ක්‍රීඩා සභාව පවසයි.

‘‘හන්ජෝ’’ නුවර දී ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉසව් 40කින් සමන්විතව පැවැත්වීමට සත්කාර චීනය කටයුතු යොදා තිබේ. වසර 2022 දී පැවැත්වීමට නියමිතව තිබිය දී එය වසරකින් ඉදිරියට කල් දමනු ලැබුවේ චීනයේ නැවත කොවිඩ් වසංගතය පැතිරයාමේ තත්වයක් උද්ගතවීමෙනි.

රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසුවේ රටේ උද්ගතව තිබෙන ආර්ථික අවපාතය හමුවේ වුව ද ආසියානු ක්‍රීඩා තරග සංචාරය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසකට අවස්ථාව සලසා දීමට ජාතික ක්‍රීඩා සභාව උනන්දුවී සිටින බවයි.

එහෙත් ඒ සඳහා අනවශ්‍ය ලෙස නිලධාරීන් සහභාගී වීම ජාතික ක්‍රීඩා සභාව විසින් වළක්වන බව ද එහිදී රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

වසර 2022 අගෝස්තු 10 වැනිදා පත්වීම් ලද අර්ජුන රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික මණ්ඩලය ආරම්භ කළ වැඩසටහන් හි ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. ඔවුන් අවස්ථා 32 කදී රැස්වී තිබේ.

මාධ්‍ය හමුවට ක්‍රීඩා සභාවේ සාමාජිකයන් වන මේජර් ජනරාල් රජිත අම්පෙමොහොට්ටි හා ලසිත ගුණරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

 

2022 අගෝස්තු 10 වැනිදා පත්වීම් ලද ජාතික ක්‍රීඩා සභාව මෙතෙක් කර ඇති කාර්යයන් ලුහුඩින්

• ජාත්‍යන්තර තරගාවලි 255 ක් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1410 දෙනකු පුහුණුකරුවන් හා නිලධාරීන් 516 දෙනකු නිර්දේශ කිරීම.

• උසස් දක්‍ෂතා ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා සභාව සමග සාකච්ඡා කිරීමේ අවස්ථා සලසා දීම.

• ජාතික ක්‍රීඩා සංගම් 60 ක ප්‍රධානීන් සමග ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම හා එම සංගම්හි අයවැය වාර්තා නිරීක්‍ෂණය කිරීම.

• සතියේ බදාදා දිනය ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වශයෙන් ප්‍රකාශ කිරීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පරිවාර නිලධාරීන්ගේ ගැටලු නිරාකරණය කිරීම.

• තේරීම් විධිමත් කිරීම සඳහා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සමග සාකච්ඡා කිරීම.

• ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග සහභාගීත්වයේ දී අනුග්‍රහාක දායකත්වය සම්බන්ධීකරණය කිරීම.

• රාජ්‍ය මුදල් නාස්තිය අවම කිරීමේ සංයුතියක් හඳුන්වා දෙමින් නිලධාරීන් හා පුහුණුකරුවන්ගේ අනවශ්‍ය යයි හැඟෙන විදෙස් සංචාර පාලනය කිරීම.

• මෙරට ක්‍රීඩාවට විදේශයන්හි අනුග්‍රහය හා දායකත්වය ලබා ගැනීම සඳහා මෙරට තානාපතිවරුන් සමග සාකච්ඡා පැවැත්වීම.

• ජාතික ක්‍රීඩා සංගම්හි තේරීම් කමිටු 13කට නිර්දේශ ලබාදීම.

• ශ්‍රී ලංකාව සහභාගීවන ජාත්‍යන්තර තරග වර්ගීකරණය කිරීම.

• උතුරු මැද පළාත් සභාව හඳුන්වා දුන් දීර්ඝ කාලීන ක්‍රීඩා සැලැස්ම රටේ සෙසු පළාත්වලට ද හඳුන්වාදීම.

• රග්බි ලෝක කුසලාන ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමේ සම්බන්ධීකරණය.


අදහස් (0)

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 156 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.