Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරම්භයේදී ශ්‍රී ලංකාවට එංගලන්තය මුණ ගැසෙයි

ආරම්භයේදී ශ්‍රී ලංකාවට එංගලන්තය මුණ ගැසෙයි

editorial - 2025 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජිබොල්ටාවේදී සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් ආරම්භ වන නව වැනි ලෝක කුසලාන  යොවුන් නෙට්බෝල් (දැල්පන්දු) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව සැප්තැම්බර් 20 වැනිදා මූලික වටයේ සිය පළමු තරගයට එංගලන්තයට එරෙහිව සහභාගි වේ.

නිර්දේශ ලත් රටවල් 20 ක සහභාගිත්වයෙන් තරගාවලිය සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වේ.එහිදී මූලික වටයේදී ශ්‍රී ලංකාව සී කාණ්ඩයෙන් තරග හතරකට සහභාගි වේ.ඒ ,බී, සී, ඩී යන කාන්ඩ හතරකින් මූලික වටය රවුන්ඩ් රොබින් තරග රටාවට පැවැත්වේ.

ආසියානු කලාපයෙන් සිංගප්පූරුව (බී කාණ්ඩය), මැලේසියාව (ඒ කාණ්ඩය) හා ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට නිර්දේශ ලබා සිටිති.දකුණු කොරියාවේදී නොබෝදා නිමාවට පත්වූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී එම කණ්ඩායම් තුන පිළිවෙලින් ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථානය අත් කර ගත්හ

කොරියානූ ආසියානු යොවුන් ශූරතා තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර දැල්පන්දු තරග ඉසව්ව බවට​ මෙමවසරේදි පත්ව ඇත්තේ ජිබොල්ටා ලෝක කුසලාන යොවුන් තරග සංචාරයයි.

ආසියානු යොවුන් තරග සංචාරයේදී  අත් කර ගත් ප්‍රතිපලයත් සමග ජිබොල්ටා ලෝක යොවුන් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කර ගැනීමේ අරමුණින් නැවැතත් තේරීම් තරගාවලියක් කැදවීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයිද වාර්තාවේ.

කෙසේවූවත් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අත්හිටුවා තිබූ පසුගිය වසරකට වැඩි කාලය තුළදී මෙරට දැල්පන්දු පරිපාලනය පවත්වා ගෙන යාමේ බලතල ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයට පත් කර තිබුණී.

ඒ අතර වාර්තා වන්නේ මෙරට දැල්පන්දු පරිපාලනය තාවකාලිකව වාරණයට ලක්වීමට තුඩු දුන් අභියාචනාධිකරණයේ නඩුව විභාග කර අවසන්ව පසුගිය ජූනි 23 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන බවයි.

එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ එළඹෙන නිලවරණය කැදවීමට තිබූ බාධාවන් මේ වන විට ඉවත්ව තිබේ.ඒ අනුව උසාවිය ලබාදී තිබෙන මාර්ගෝපදේශයට අනුව  නිලවරණය ආසන්නයේදීම කැදවා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය යළිත් ස්ථාපිත කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයිද වාර්තාවේ.

කෙසේවූවත් ජිබොල්ටා ලෝක යොවුන් කුසලාන තරග සංචාරයට පෙර  එය ඉටු වීමේ අවස්ථාව අවම බවද දැල්පන්දු ක්‍රීඩා ආරංච් මාර්ග සදහන් කරයි.

දකුණු කොරියානු ආසියානු යොවුන් තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරීනී හයිසින්ත් විජේසිංහ මහත්මිය ජිබොල්ටා ලෝක කුසලාන යොවුන් තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම පිළිබදව මෙතෙක් අදහස් දැක්වීමක් කර නැත.

කෙසේවූවත් ජාතික යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරයට අයැදුම්පත් කැඳවීමේදී දකුණු  කොරියානූ ආසියානු යොවුන් තරග සංචාරය හා ජිබොල්ටා ලෝක යොවුන්  තරග සංචාරය යන සංචාර දෙකම ඉලක්ක කරමින් එම ඇයැදුම්පත් කැඳවීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් වැඩිදුරටත් වාර්තාවේ.

මෙවර නව වැනි වරටත් ලෝක යොවුන් කුසලාන දැල්පන්දු තරගාවලිය පැවැත්වීමේදී මෙතෙක් පැවැති තරගාවලි අටක ශූරතාව සිව් වතාවක් බැගින් දිනා ඇත්තේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව විසිනි.අවසන් වරට 2017 දී පැවැති බොට්ස්වානා (2017) ලෝක යොවුන් තරගාවලියේ ශූරතාව නවසීලන්තය විසින්ද අනුශූරතාව ඕස්ට්‍රේලියාව විසින්ද හා හා තෙවැනි ස්ථානය එංගලන්තය විසින්ද හිමි කර ගන්නා ලදී.

සියලුම තරග පරාජය වූ ශ්‍රී ලංකාව 19 වැනි (අවසන්) ස්ථානය ලැබීය. එහිදී ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණීය ලෙස අමල්කා ගුණතිලක මහත්මිය කටයුතු කළාය.

 

නව වැනි ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේදී ( සී කාණ්ඩයේ) වදින ආකාරය

★ සැප්තැම්බර් 20 : - එංගලන්තයට එරෙහිව

★ සැප්තැම්බර්  21 : -  වේල්සයට එරෙහිව

★ සැප්තැම්බර්  22 : - ජැමෙයිකාවට එරෙහිව

★ සැප්තැම්බර්  24 : -  ටොන්ගා රාජ්‍යයට එරෙහිව

(සැප්තැම්බර්  25 - 26 හා 28  යන දිනවල පිළිවෙළින් පෙර අවසන් පූර්ව වටය, අවසන් පූර්ව වටය, තෙවැනි ස්ථානය හා අවසන් මහ තරගය පැවැත්වේ.)


අදහස් (0)

ආරම්භයේදී ශ්‍රී ලංකාවට එංගලන්තය මුණ ගැසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.