Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද - නාලන්දා 88 වැනි සුලෝහිත සංග්‍රාමය 4 - 5

ආනන්ද - නාලන්දා 88 වැනි සුලෝහිත සංග්‍රාමය 4 - 5

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් දායාද කළ පාසල් දෙක වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 88 වැනි ‘සුලෝහිත සංග්‍රාම’ මහ ක්‍රිකට් තරගය මේ මස 4 සහ 5 දෙදින එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම පාසල් දෙකෙන් ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයන් 60 අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂි ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන, නාලන්දා විදුහලේ ද, 1996 වසරේ ලෝක කුසලාන දීනු ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග මහතා ආනන්ද විදුහලේ ද ආදි සිසුවෝ වෙති.
මෙම විදුහල් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික පිලට (බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල්) නායකයන් හය දෙනකු බිහිකර තිබේ.

ආනන්ද සහ නාලන්දා විදුහල් දායාද කළ බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, බ්‍රෙන්ඩන් කුරුප්පු, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන, අවිෂ්ක ගුණවර්ධන, මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර යන ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසු වෙති.

මෙම මහ ක්‍රිකට් තරගයේ 1924 වසරේ සිට පැවැති තරග 87 කදී ආනන්ද විදුහල තරග 12 ක් ද, නාලන්දා විදුහල තරග 6 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ආනන්ද විදුහල අවසන් වරට 2003 වසරේ දමින්ද කුලරත්නගේ නායවත්වයෙන් ද, නාලන්දා විදුහල 1953 වසරේ ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වාගේ නායකත්වයෙන් ද අවසන් වරට ජය ලබා තිබේ.

මෙවර ආනන්ද විදුහල් පිලේ නායකයා ලෙස කවිෂ්ක අංජුල ද, නාලන්දා විදුහල් පිලේ නායකයා ලෙස දසුන් සෙනෙවිරත්න ද, කටයුතු කරති.

ආනන්ද විදුහල මෙම තරග වාරයේ තරග 16 කට සහභාගි වී වෙස්ලි, පන්නිපිටිය ධර්මපාල, මහනුවර ත්‍රිත්ව සහ ශාන්ත බෙනඩික් යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබීමට සමත් විය. ආනන්ද විදුහල් පිල මෙම තරග වාරයේ පළමු ඉනිමේ ජයග්‍රහණ 10 ක් ද ලබා තිබේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ප්‍රබල පිතිකරු සම්මු අෂාන් මෙවර ද ආනන්ද විදුහල් පිල නියෝජනය කරයි.

සහන් සුරවීර මෙම තරග වාරයේදී ලකුණු 922 ක් රැස්කරමින් ආනන්ද විදුහල් පිලේ ප්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. නායක කවිෂ්ක අංජුල (885), අසෙල් සිගේරා (556), දුෂාන් හෙට්ටිගේ (480) සහ සුපුන් වරාගොඩ (372) ආනන්ද විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති.

ආනන්ද විදුහල් පිලේ උප නායක වමතින් දඟ පන්දු යවන දිලීප ජයලත් මෙම තරග වාරයේ කඩුලු 66 ක් දවා ගැනීමට සමත්ව සිටියි. අසෙල් සිගේරා (46), සුපුන් වරාගොඩ (41) සහ සම්මු අෂාන් (36) ආනන්ද විදුහල් පන්දු යැවීමේ බලැනිය ශක්තිමත් කරති.

නාලන්දා විදුහල මෙම තරග වාරයේ තරග 17 කට ක්‍රීඩා කරමින් කෑගල්ල ශාන්ත මරියා, පන්නිපිටිය ධර්මපාල, කොළඹ මහානාම, මොරටුව වේලස් කුමර සහ කුරුණෑගල මලියදේව යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබූ අතර තර්ස්ටන් විදුහල හමුවේ පූර්ණ පරාජයක් ලැබීය.

මෙවර නාලන්දා විදුහලේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක මාලිංග අමරසිංහ හැදින්විය හැකිය. මාලිංග මෙම තරග වාරයේදී ලකුණු 857 ක් රැස්කිරීමට සමත් විය. නායක දසුන් සෙනෙවිරත්න (571) සුහඟ විජේවර්ධන (570), කසුන් සඳරුවන් (560) සහ උප නායක ලක්‍ෂිත රසාංජන (487) නාලන්දා විදුහල පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති.

වමතින් දඟ පන්දු යවන උමේක්‍ෂ දිල්ෂාන් මෙම තරග වාරයේ කඩුලු 54 ක් දවා ගනිමින් නාලන්දා විදුහල් පිලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. අසෙල් කුලතුංග (43), ලක්‍ෂිත රසාංජන (40), මාලිංග අමරසිංහ (28) සහ සුහඟ විජේවර්ධන (24) නාලන්දා විදුහලේ සෙසු ප්‍රබල පන්දු යවන්නෝ වෙති.  

දෙවිදුහල් අතර වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය මේ මස 19 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

ආනන්ද විදුහල් සංචිතය:
කවිෂ්ක අංජුල (නායක), දිලීප ජයලත් (උප නායක), සමූ අෂාන්, අසෙල් සිගේරා, සුපුන් වරාගොඩ, සහන් සමරවීර, කමේෂ් නිර්මාල්, චාමික ගුණසේකර, දුෂාන් හෙට්ටිගේ, ළහිරු අත්තනායක, කවිඳු ගිම්හාන්, කලන ප්‍රමෝද්, ළහිරු උදයංග, අචිල එරංග, සමන් හිරුෂාන්, දමින්ද රිෂාන්, පමීෂ අබේනායක සහ හසිඳු ශිමන්ක
කණ්ඩායම් බාර ආචාර්ය: ප්‍රියංකර නන්දසේන මහතා, පුහුණුකරු රොහාන් සොයිසා මහතා

නාලන්දා විදුහල සංචිතය:
දසුන් සෙනෙවිරත්න (නායක), ලක්‍ෂිත රසාංජන (උප නායක), මාලිංග අමරසිංහ, මධුෂාන් හසරංග, දිල්හාර පොල්ගම්පොළ, කසුන් සඳරුවන්, උමේක්‍ෂ දිල්ෂාන්, අසෙල් කුලතුංග, රෂ්මික බණ්ඩාර, කලන පෙරේරා, කවීෂ් මධුරප්පෙරුම, කලන කළුආරච්චි, රුසිරු ද සිල්වා, අවිෂ්ක පෙරේරා, සචින්ත මධුමාල් සහ සුහඟ විජේවර්ධන
කණ්ඩායම් බාර ආචාර්ය: සමන් හෙට්ටිආරච්චි මහතා, පුහුණුකරු: කීර්ති ගුණරත්න මහතා


අදහස් (0)

ආනන්ද - නාලන්දා 88 වැනි සුලෝහිත සංග්‍රාමය 4 - 5

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.