Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනතුරු දෙකක් මැද ප්‍රභාෂ් දිනුම් කණුවට

අනතුරු දෙකක් මැද ප්‍රභාෂ් දිනුම් කණුවට

editorial - 2024 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැදවච්චියේදී සහ වවුනියාව තරග නිමාව ආසන්නයේදී සිදු වූ අනතුරු දෙකකින් ක්‍රීඩකයන් සිව් දෙනකු සුළු තුවාල ලබන අතර, වවුනියාවේදී ඊයේ (6) නිමාවට පත්වූ ගුවන් හමුදා පාපැදි සවාරියේ අදියර 4 තරගයේ ජය නාවික හමුදා ක්‍රීඩක ප්‍රභාෂ් සිල්වාට හිමි විය.

සිව් වැනි අදියර තරගය ත්‍රිකුණාමලයේ සිට වවුනියාවට ධාවකයන් කිලෝමීටර 44.02ක සාමාන්‍ය වේගයක් ලබමින් ළඟා වූයේ, කිලෝමීටර 139.4ක දුරක් ගෙවමිනි.

එම දුර පැය 3යි විනාඩි 10යි තත්පර 01කින් නිමා කරමින් ප්‍රභාෂ් ජය ගත්තේ එකම පොකුරකට සමාන කාලයකින් තරගය අවසන් කළ ක්‍රීඩකයන් 17 දෙනකු අතරිනි.

මැදවච්චියේදී ධාවන මාර්ගයට සුනඛයකු පැනීම නිසා සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ ධාවකයන් අතර ඉන්දීය ක්‍රීඩකයකු ද වන බව තරගයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරි නලින් අධිකාරිආරච්චිගේ මහතා පැවැසීය.

වවුනියාවේ තරග නිමාවට මීටර 500ක් තරම් ආසන්නයේදී සෙසු ක්‍රීඩකයා අනතුරට ලක්විය. ඒ අනුව, ඊයේ අදියර 4 තරගයේ දෙවැනි ස්ථානය කදිරාන ස්පීඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩක උමේෂ් වීරසිංහ ලැබූ අතර, ඉන්දීය ක්‍රීඩක ක්‍රිෂ්ණා නායකොඩි තෙවැනි ස්ථානය ලැබීය. ඔවුන්ගේ තරග නිමි කාලයත් ජයග්‍රාහකයා හා සමාන අගයක් (පැය 3යි විනාඩි 10යි තත්පර 01) ගත්හ.

ඊයේ සිව් වැනි දිනයේ සිව් වැනි අදියර තරගය වවුනියාවෙන් නිමා වන විට, එතෙක් තරගකරුවන් ගමන් කර තිබූ මුළු දුර කිලෝමීටර 506.6ක අගයක් ගත්තේය. ඒ වන විට සමස්ත තරගයේ ප්‍රතිඵලවලට අනුව රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක් ප්‍රදානය කරන ජයග්‍රාහකයා තේරීමේදී පෙරමුණ ගෙන සිටියේ යුද හමුදා ක්‍රීඩක පැතුම් සම්පත් වීරසිංහය. එතෙක් පැවැති කිසිදු අදියරක් ජය නොගත් ඔහු පැය 12යි විනාඩි 01යි තත්පර 41කට දෙවැනි ස්ථානයට ඒ වන විට පත්ව සිටි නාවික හමුදා ක්‍රීඩක ප්‍රභාෂ් සිල්වාට වඩා තත්පර 12ක වෙනසකින් ඉදිරියෙන් පසු විය.

එහිදී ප්‍රභාෂ් පැය 12යි විනාඩි 01යි තත්පර 59ක කාලයක් වාර්තා කර තිබුණි. ඒ අතර, පැය 12යි විනාඩි 02යි තත්පර 18කට සමස්ත තරගයේ තෙවැනි ස්ථානයට ඒ වන විට පත්ව සිටියේ මනුෂ් නිහාරය. ඔහු පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකි.

අද (7) 25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ නිමාව යාපනය දොරේඅප්පා පිටියේදී නිමාවට පත් වන්නේ, ඊයේ තරගය නැවතූ වව්නියාවේ සිට ළඟා වීමෙනි.

එහි මුළු දුර කිලෝමීටර 147.4කි. අද යාපනයේදී මුළු තරගය නිමා වන විට ධාවකයන් ගෙවා තිබෙන සම්පූර්ණ දුර කිලෝමීටර 654.0කි.

මේ අතර, මාන්කුලමේ සිට යාපනය දක්වා (කිලෝමීටර 92) අද (7) මෙහි කාන්තා ඉසව්ව පෙරවරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.


අදහස් (0)

අනතුරු දෙකක් මැද ප්‍රභාෂ් දිනුම් කණුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.