Last Update  :  2025-11-26 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2025 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මේ වන විට ආරම්භ වී තිබේ. මෙම තරගාවලිය දෙසැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 7 ක් පුරා පැවැත්වීමට නියමිතය. 

පසුගිය වසරේදී (2024) පැවැති ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් 1250 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර මෙවර එම සංඛ්‍යාව ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අපේක්ෂා කරයි. ඊට මෙරට බැඩ්මින්ටන් ශ්‍රේණිගතත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත්වනු ඇතැයිද බැඩ්මින්ටන් සංගමය පවසයි. 

තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම දෙසැම්බර් මස 9 වැනිදා මධ්‍යහන 12.00 ට අවසන් වීමට නියමිතය. දෙසැම්බර් මස 12 වැනිදා වන විට පවතින ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව තරග පෙළගැස්ම සකස් කිරීම සිදු කෙරෙන අතර එය දෙසැම්බර් මස 14 වැනිදා අංක, 28, මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි බැඩ්මින්ටන් මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත. 

අනතුරුව එම තරග පෙළ ගැස්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් පිටුවේ පළ කෙරෙනු ඇත. අයැදුම්පත් බාර ගැනීම www.srilankabadminton.lk වෙබ් අඩවිය ඔස්සේ සිදු කෙරෙන අතර ඊට අදාල සියලු විස්තර එහි සඳහන් වන බවද බැඩ්මින්ටන් නිවේදනය කරයි. 

තරගාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් හිමාෂා චාතුර්යා මෙනෙවිය පත් කරනු ලැබ ඇති අතර කාර්යාල වේලාවන් තුළදී 074-0121846 දුරකතන අංකය ඔස්සේ ඇය ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය. 

මෙම තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 සඳහා විවෘත තරග පැවැත්වීමට නියමිතය. ඊට අමතරව කනිෂ්ඨ අංශය සඳහා අවුරුදු 11 න් පහළ සිට අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය දක්වා තරග පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ අංශය සඳහා අවුරුදු 30 න් ඉහළ සිට අවුරුදු 70 න් ඉහළ වයස් කාණ්ඩය දක්වා තරග පැවැත්වෙනු ඇත. 

තරගාවලියේ සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 17 වැනිදා පැවැත්වෙන අතර අනතුරුව මූලික වටයේ තරග ආරම්භවනු ඇත. දෙසැම්බර් මස 19 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වීමෙන් පසු 16 දෙනාගේ තරග වටය සහ අර්ධ අවසන් පූර්ව තරග වටය පැවැත්වීමට නියමිතය.

එම තරග වට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෝරාගත් අවසන් මහ තරග කිහිපයක්ද එදින පැවැත්වීමට නියමිතය. සෙසු සියලු අවසන් මහ තරග සහ සමාප්ති උත්සවය අවසන් දිනය වන දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.  

පසුගිය වසරේ (2024) පැවැති 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේදී විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ ජාතික බැඩ්මින්ටන් ශූරයා සහ ශූරිය ලෙස සම්මාන දිනාගත්හ. මෙවර තරගාවලියේ සෑම අංශයකම ශූරයන්ට, අනු ශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන තරගකරුවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර ජයග්‍රාහකයන් අතරේ බෙදාදීමට නියමිත මුදල් ත්‍යාගයන්හි මුලු වටිනාකම රුපියල් මිලියන 2 කි. 

තරගාවලි කමිටුවේ තීරණයකට අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වෙනත් වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ තරග නීතිරීතිවලට අනුව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මැක්ෆොයිල්, මොබිල්, ලීනිං, 3එම්. සහ ජී.ඒ.සී. යන සමාගම් අනුග්‍රහය දක්වනු ඇත. 


අදහස් (0)

73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.