Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2021 ජාතික තරගාවලිය 2024 ටත් ඉවර නෑ

2021 ජාතික තරගාවලිය 2024 ටත් ඉවර නෑ

editorial - 2024 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2021 ට නියමිත ජාතික එල්ලේ තරගාවලිය මේ දක්වා පවත්වා අවසන් කර නැතැයි වාර්තාවේ. එහි අවසන් වටයේ තරග මෙතෙක් පවත්වා අවසන් කර නැති අතර මේ හේතුවෙන් පසුගිය වසර කීපයේදී යෙදී තිබුණු ජාතික තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලන අපොහොසත්වී සිටින බවද වාර්තාවේ.

2021 තරගාවලිය මෙතෙක් අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ එහි ඉතිරිය පවත්වා අවසන් කිරීමට මුදල් නොමැතිවීම නිසා යයි එල්ලේ සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෑත කාලය වනවිට ජාතික තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් එල්ලේ සම්මේලනයට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයක් බව ක්‍රීඩා සමාජ පවසයි. මේ ආකාරයට 2018-19 තරගාවලිය පවත්වා අවසන් කිරීමටත් එයින් වසර කීපයක් ගත කිරීම එහිලා සිහිපත් වේ.

එහි අවසන් මහ තරගය පවත්වා අවසන් කිරීමට වසර 2021 දී සමත් වූයේ පසුව එල්ලේ සම්මේලනයේ සභාපති ධුරයට පත් ජයතිස්ස රුද්‍රිගු මහතාය.

එල්ලේ සම්මේලනයේ ලියාපදිංචි  ක්‍රීඩා සමාජ 125කට වැඩි ගණනක් 2021 ජාතික එල්ලේ තරගාවලිය සඳහා සහභාගී වී තිබේ.

ජාතික තරගාවලිය පමණක් නොව වාර්ෂික ප්‍රධානතම එල්ලේ තරගාවලි කීපයක්ම පැවැත්වීම මේ වනවිට මුදල් නොමැතිකමෙන් අත්හිටුවා තිබේ. කෙසේ වුවත් අන්තර් ආයතන තරගාවලිය පමණක් පවත්වා අවසන් කිරීමට එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාව සමත්ව තිබේ. වසර 2021 එල්ලේ ජාතික තරගාවලිය එවකට සම්මේලනයේ සභාපති ධුරය දැරූ ජයතිස්ස රුද්‍රිගු මහතාගේ මැදිහත්වීමෙන් සාර්ථකව පවත්වා ගෙන යන අතර එහි තරගයකදී උද්ගත වූ ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ පැවැරූ නඩුවක් හේතුවෙන් තරගාවලිය එතැන් සිට අත්හිටුවීමට සිදුවූ බව වාර්තාවේ.

විනිසුරුවරයකුට පහරදීමක් සම්බන්ධයෙන් ජාතික ශූරයා සම්මානයෙන්ද පිදුම් ලැබූ ක්‍රීඩකයකු චෝදනා ලැබීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් එල්ලේ සම්මේලනයේ විනය කමිටුව ලබාදුන් තීරණය අභියෝගයකට ලක් කරමින් මෙම චෝදනාලාභී ක්‍රීඩකයා ඇතුළත් ක්‍රීඩා සමාජය අධිකරණයේ ගොනු කළ නඩුවක් එය තාවකාලිකව අත්හිටුවීමට හේතු විය.

එහිදී ජාතික තරගාවලියේ ඉතිරිය එය විභාග කර අවසන් වන තෙක් පැවැත්වීමද අධිකරණය වාරණයට ලක් කළේය. එසේ තිබියදී පසුව මෙම නඩුව සමථයකට පත් කරමින් එය ඉල්ලා අස්කර ගැනීමට නඩු පැවරූ ක්‍රීඩා සමාජය  කටයුතු කර තිබේ. මෙම සිදුවීමට සම්බන්ධ වූ උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජය නියෝජනය කරන දේශපාලනඥයකු වන නාමල්  සුරංග මහතා වසර 2023 මැයි මාසයේදී පැවැති නිලවරණයෙන් පත්ව (2023-25) ඉදිරි  වසර දෙකක නිල කාලයක් සඳහා මේ වනවිට පත්ව සිටියි.

එල්ලේ සම්මේලනයේ විධායක සභාව 23 දෙනකුගෙන් සමන්විතය. කෙසේ වුවත් මේ වනවිට එහි විධායක සභා රැස්වීම් සඳහා කැඳවීම් ලැබෙන්නේ ඉන් කොටසකට පමණක් බවටද චෝදනා එල්ලවී තිබේ.

එහෙත් විධායක සභාවේ ඝන පූර්ණය පවත්වා ගෙන යාමට තුනෙන් එකක් වන සභිකයන් පිරිසක් රැස්වීම ප්‍රමාණවත්ය.

මේ අතර වත්මන් සභාපති නාමල් සුරංග මහතා ප්‍රකාශ කර ඇත්තේ වසර 2021ට නියමිතව දැනට අත්හිටුවා තිබෙන ජාතික එල්ලේ තරගාවලියේ ඉතිරිය ඉතා ඉක්මණින් පවත්වා අවසන් කරන බවයි.

උදම්මිට ගාමිණී පිල හා මාරවිල සිංහ පැටව් පිල අතර වූ තරගයේ සිදුවීමක් මුල්කර ගනිමින් අධිකරණයේ ඉහත නඩුව පවරා තිබුණි.


අදහස් (0)

2021 ජාතික තරගාවලිය 2024 ටත් ඉවර නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.