Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපර් ලීග් ඉතිරි කොටස අගෝස්තුවේ

සුපර් ලීග් ඉතිරි කොටස අගෝස්තුවේ

editorial - 2021 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි කොටස අගෝස්තු මාසයේ අග භාගයේදී නැවතත් ආරම්භ කිරීමේ අභිප්‍රායෙන් මෙම 25 වැනිදා සිට ක්‍රීඩා සමාජ සඳහා සති තුනක පුහුණු කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

පසුගිය අප්‍රේල් 21 වැනිදා ආරම්භ වූ ‘සුපර් ලීග්’ පාපන්දු තරගාවලියේ තවත් තරග 30ක් පැවැත්වීමට ඉතිරිව ඇත. පවත්වා අවසන් කර තිබෙන තරග ගණන 15කි.  මෙම තරගාවලිය නැවත පසුගිය ජුලි 2 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත්, රට තුළ බලපැවැත්වෙන සංචරණ සීමා නිසා දින නියමයක් නොමැතිව කල් දමනු ලැබීය.

මේ අතර, තරගාවලිය නැවත ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා සමාජ 10 ප්‍රධානීන් හා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා අතර ‘සූම්’ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.   එහිදී ක්‍රීඩා සමාජ සඳහා ගෙවීම්වල ඉතිරියෙන් තවත් රුපියල් මිලියනයක් බැගින් නිදහස් කිරීමටත්, සෙසු අඩුපාඩුකම් සියල්ලම ඉතා ඉක්මනින් සපුරා දීමටත් ජස්වර් උමාර් මහතා එකඟ වී සිටී.

ඒ පිළිබඳව සාකච්ඡාවට එක්ව සිටි ක්‍රීඩා සමාජ ප්‍රධානියකු පැවැසුවේ, තවත් ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත්, කලින් පවතින අඩුපාඩු සපුරා දීමටත්, තරගාවලිය සඳහා වන ක්‍රීඩා සමාජ ගෙවීම් වැඩි කරදීමටත් නව සභාපතිවරයා එකඟ වීමෙන් සාකච්ඡාව වඩාත් ධනාත්මකව අවසන් වූ බවයි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මූල්‍ය අනුග්‍රහයෙන් පළමු වරට අර්ධ වෘත්තීය මට්ටමෙන් හඳුන්වා දුන් මෙම පාපන්දු තරගාවලිය අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු ගණනක් ලබන කණ්ඩායම රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයට හිමිකම් කියයි. දෙවනුව වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම අනුශූරතාව සඳහා වන රුපියල් ලක්ෂ 35 කට හිමිකම් කියයි.

තරගාවලියේ තරග 15ක ප්‍රතිඵල නිමාවේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ‘සී හෝක්ස් හෙවත් නාවික හමුදා ක්‍රීඩා සමාජය එතෙක් සහභාගි වී සිටි තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු නවයක් ලබා සිටියි. ඒ අතර, තරග දෙකක් ජය ගනිමින් හා ඉතිරි තරග ජය පරාජයෙන් තොරව අවසන් කරමින් අලුත්ගම ‘රෙඩ් ස්ටාර්’ ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු හතක් ලබා ලකුණු සටහනේ දෙවැනි තැන ලබා සිටිති.

මෙතෙක් සුගතදාස පිටියේ පැවැති තරග මෙතැන් පටන් රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ (පැරැණි තුරග තරග පිටියේදී) පැවැත්වීමට කටයුතු කරන බව ද ජස්වර් උමාර් මහතා පවසයි.


අදහස් (0)

සුපර් ලීග් ඉතිරි කොටස අගෝස්තුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.