Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාෆ් පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට තහනම්

සාෆ් පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට තහනම්

editorial - 2023 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව සත්කාරයට ලංසු තැබූ 14 වැනි දකුණු ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට බ්‍රහස්පතින්දා (16) රැස්වූ දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාව තීරණය කළේය.

ඊට හේතුව පසුගිය ජනවාරි 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය පනවා තිබෙන ජාත්‍යන්තර තහනමයි.

ලබන ජුනි 30 වැනිදා සිට ජූලි 3 වැනිදා දක්වා ඉන්දියාවට සත්කාරය බාර කරමින් 14 වැනි සාෆ් ශූරතා පාපන්දු තරගාවලිය පැවැත්වීමට ඒ අනුව පෙරේදා (16) මාලදිවයිනේදී රැස්වූ දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාව තීන්දු කළේය.

ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් පැනවී තිබෙන තහනම නිසා ඔවුන් මෙම තරගාවලිය කොළඹදී පැවැත්වීම සඳහා ඉල්ලා තිබූ සත්කාරය අවලංගු කිරීමට විධායක සභාව තීරණය කළේය. මෙම තහනම හමුවේ එය ඉවත් කෙරෙන තුරු ශ්‍රී ලංකාවට කුමන ආකාරයේ හෝ ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා සහභාගි විය නොහැකි බැවින් ඔවුන්ගේ සහභාගිත්වයද අවලංගු කර දැමීමට එහිදී දකුණු ආසියානු පාපන්දු සම්මේලනය කටයුතු කළේය.

මෙවර තරගාවලිය සඳහා නේපාලයද ඉල්ලුම්කර තිබූ බව වාර්තාවේ. කෙසේ වුවත් විධායක සභාව ඉන්දියාවට සත්කාරය ප්‍රදානය කිරීමේදී පහසුකම් පිළිබඳව වඩාත් අවධානය යොමු කර තිබුණි.

අවසන් වරට 2021 මාලේ නුවරදී පැවති 13 වැනි තරගාවලියේදී ඉන්දියාව ශූරතාව දිනා ගත්තේ නේපාලය අවසන් මහ තරගයේදී පරාජයට පත් කරමිනි. ඉන්දියාව මෙම ශූරතාව නව වතාවක් දිනා ඇත.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු කුසලාන දිනාගත් මෙතෙක් එකම අවස්ථාව 1995 දී ශ්‍රී ලංකාව සත්කාරය දැරූ තරගාවලියේ වාර්තා විය.

‘මාලේ’ (2021) තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් විය. එහිදී බංග්ලාදේශය (0-1), නේපාලය (2-3), මාලදිවයින (0-1) සමග පැවති තරග ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ඉන්දියාව සමග තරගය ජය පරාජයෙන් තොරව (0-0) නිමාවට පත් කළේය.

13 දෙනකුගෙන් සමන්විත ස්කොට්ලන්ත ජාතික පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලයකින් ශ්‍රී ජාතික පුහුණු කණ්ඩායම පසුගිය මැයි මාසයේ සිට බලගැන්වීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය කටයුතු කළ බව ප්‍රකාශ විය. එහෙත් ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් මහතා ඇතුළු එම පිරිස මීට මාස කීපයකට පෙර සිට ශ්‍රී ලංකා සේවය අතහැර ගොස් තිබේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් ශ්‍රී ලංකාව පසුවන්නේ 207 වැනි ස්ථානයේය. ආසියාවේ ඔවුන්ට හිමි ස්ථානය 45 ය. එය එහි අවසන් ස්ථානයයි.

වසර 2022 ජුනි 14 වැනිදා උස්බෙකිස්ථානයේදී ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ අවසන් ජාත්‍යන්තර පාපන්දු තරගයට ක්‍රීඩා කර තිබේ. එහිදී ආසියානු කුසලාන (2023) පූර්ව සුදුසුකම් තරග වටයේදී ශ්‍රී ලංකාව මාලදිවයිනට ගෝල 1-0 කින් පරාජය විය.

මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරග 250ක ඉතිහාසය පිරික්සීමේදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ ඉන් තරග 48ක් පමණි. තරග 149 ක් පරාජය වී තිබේ. ඉතිරිය සම වී තිබේ. මෙම සියලු තරගවලදී ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල 233ක් රැස් කරද්දී ප්‍රතිවාදීන් ඔවුන්ට එරෙහිව ගෝල 565ක් රැස්කර තිබෙන බව දත්ත වාර්තාවල දැක්වේ.


අදහස් (0)

සාෆ් පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.