ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික ගුවන් කොමදෝරු අජිත් අබේසේකර මහතා නිතරගයෙන් පත් විය. එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත් 29 වැනිදා කොළඹ පිහිනුම් සමාජ ශාලාවේදී පැවැති අතර එහිදී 2017-2019 යන කාල සීමාව සඳහා අබේසේකර මහතා සභාපති ධූරයට පත්විය.
මෙවර නිලවරණයේදී සභාපති ධුරය සඳහා බි්‍රගේඩියර් ඒ. විද්‍යානන්ද මහතා සහ අබේසේකර මහතා නාම යෝජනා ඉදිරිපත්කර තිබුණද, කෙසේ වුවත් අවසන් මොහොතේදී විද්‍යානන්ද මහතා සිය නාම යෝජනාවය ඉල්ලා අස්කර ගැනීමත් සමග අබේසේකර මහතා එම ධූරය සඳහා නිතරගයෙන් පත් විය.
වත්මන් ලේකම් විශ්‍රාමික ගුවන් කොමදෝරු ප්‍රියදර්ශන ජයවර්ධන මහතා මෙවරත් ඒ සඳහා නිතරගයෙන් පත් විය.
සංගමයේ උප සභාපති ධූර 5 ක් සඳහා ප්‍රදීප් රත්නායක, ඩී. ජයවර්ධන, පී. එල්. ප්‍රේමසිරි, එල්. ඩී. සිල්වා සහ කෞෂල්‍යා පෙරේරා යන මහත්ම මහත්මීන් නිතරගයෙන් පත් වූහ. එහිදී සහකාර ලේකම් ධූරය සඳහා ඩිලාන් පෙරේරා මහතා පත්වූයේද නිතරගයෙනි.
භාණ්ඩාගාරික ධූරය සඳහා ඒ. මනෝහාරි මහත්මියත්, උප භාණ්ඩාගාරික යන ධූරය සඳහා නිසංගා මායාදුන්නේ මහත්මියත් නිතරගයෙන් පත් වෙද්දී බන්දුල හේරත්, ගනේෂ් මෙන්ඩිස්, ජගත් කුමාර, නිමල් රණසිංහ, එරංග ගීගණගේ සහ මහේෂ් සිල්වා යන මහත්වරු සංගමයේ කමිටු සාමාජිකයන් ලෙස පත්වූහ.
නව නිලධාරී මණ්ඩලය පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහ සභා රැස්වීම මේ මස තෙවැනි සතිය තුළදී පැවැත්වීමට නියමිතය. එහිදී සංගමයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ලේකම් ප්‍රියදර්ශන ජයවර්ධන මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේකම් වරයා කියා සිටියේ පිට පළාත් වල ස්කොෂ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා ස්කොෂ් සංගමය ඉදිරියේදී නව වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවයි. ඒ යටතේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව යාපනය, බදුල්ල, මහ නුවර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේණ්ද්‍ර කරගෙන ස්කොෂ් පුහුණු වැඩසටහන් පැවත්වීමට ස්කොෂ් සංගමය මූලිකවම බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ඔහු පැවසීය.
ඉදිරියේදී නව ජාතික පුහුණුකරුවකු පත්කරගෙන ඔහු යටතේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ මට්ටමින් අඛණ්ඩ පුහුණු සංචිත දෙකක් පවත්වාගෙන යෑමට ස්කොෂ් සංගමය කටයුතු යොදා ඇති බවද ලේකම් වරයා සඳහන් කර සිටියේය.
ස්කොෂ් සංගමයේ නව නිලධාරී මණ්ඩලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.