Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 28 ක්

ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 28 ක්

editorial - 2021 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සත්කාරක බංග්ලාදේශය හමුවේ ගෝල 12–0ක දරුණු පරාජයක් ලද ශ්‍රී ලංකාව ඩකා නුවර දී දැන් පැවැත්වෙන 2021 සාෆ් ශූරතා පාපන්දු වයස 19න් පහළ කාන්තා තරගාවලියේ සහභාගි වූ තරග හතරෙන්ම පරාජයට පත්විය.

එහිදී විශේෂිතම සිදුවීම වන්නේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හතරේදීම එරෙහිව ප්‍රතිවාදිනියෝ ගෝල 28 ක් රැස්කර තිබිය දී ශ්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට සමත් නොවීමයි.

භූතානයට එරෙහිව ගෝල 5–0 ක් පරිදි ද ඉන්දියාවට එරෙහිව ගෝල 5–0 ක් පරිදි ද නේපාලයට එරෙහිව ගෝල 6–0 ක් පරිදි ද එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සෙසු තරග තුනේ දී පරාජයට පත්වූහ.

ඊයේ  (19) සත්කාරක බංග්ලාදේශයට එරෙහිව පැවති සිය මූලික වටයේ අවසන් තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ගෝල 4–0 ක් ලෙස පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකාව පරාජයට පත් කළහ.
ඒ අනුව දෙවැනි වටයේ විනාඩි 45 ක කාලයක් තුළ දී ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ගෝල අටක්ම ලබා ගැනීමට සමත්ව තිබීම කැපී පෙනේ.

එහිදී සහිදා අක්තීර් රීෆා හා ඇෆිඩා කහන්දකාර් ගෝල තුනක් බැගින් ලබාගැනීමට සමත් වූහ.

තරගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රහාරයට ලක්වීමේ දී 2, 7, 16, 43, 47, 49, 54, 70, 77, 83, 84 හා 87 යන විනාඩිවල දී බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා දැල තුළට පන්දුව යොමු කරමින් ගෝල වාර්තා කළහ.

බංග්ලාදේශය පසුගිය 2018 වසරේ දී වයස 18 න් පහළ කාණ්ඩයෙන් පැවති මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමයි. තිම්පු නුවර දී පැවැති එම තරගාවලියේ දී පාකිස්ථානයට එරෙහිව ගෝල 17–0ක දැවැන්ත ජයක් ද එහිදී ඔවුන් වාර්තා කර තිබේ.

එම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි නොවීය. ඩකා නුවර දී දැන් පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකාව ගෝල 6 – 0 කින් නේපාලයට පරාජය වූ තරගයේ දී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මංජුල සිරිසේන මහතා විනිසුරුවරිය වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ්පත ලැබීම ද කැපී පෙනුණි.

එහිදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තිදෙනෙක් ද විනිසුරුවරිය වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ්පත ලැබූහ. රටවල් පහක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය සඳහා බංග්ලාදේශය හා ඉන්දියාව මූලික වටයේ රැස් කළ වැඩිම ප්‍රසාද ලකුණු මත නිර්දේශ වී සිටියි.

අවසන් මහ තරගය අනිද්දා (22) පැවැත්වීමට නියමිතය. මෙහිදී මින් පෙර නොවූ අන්දමට ශ්‍රී ලංකාව භූතානය හමුවේ ද පරාජයට පත්වීම තුළ වඩාත් අවාසනාවන්ත තත්ත්වයකට පත්ව සිටියි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ කොළඹ විශාඛා විදුහලේ සිසුවියක් වන ක්‍රීඩිකා ඉමේෂා වර්ණකුලසූරිය විසිනි.

නිලධාරීන් හා නිලධාරිනියන් නවදෙනකුගෙන් යුත් එහි පරිවාර කාර්ය මණ්ඩලයේ ප්‍රධාන පුහුණුකරු හැරෙන්නට සහය පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන් තිදෙනකුගේ ද සේවය ලබා ගැනුණි.

ඒ අතර කලක් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු හා අභ්‍යාසක ලෙසත් කටයුතු කර ඇති බ්‍රසීල ජාතික මාකෝස් ෆෙරෙයිරා මහතා මෙම තරග සංචාරයට එක්වූයේ අභ්‍යාසකවරයෙකු ලෙසිනි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 28 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.