රොස්කෝ තටිල් (නොදැවී 103) සහ අශේන් සිල්වාගේ (නොදැවී 86) විශිෂ්ට පිතිහරඹය හමුවේ “ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” අභියෝගතා කුසලාන සඳහා පැවැති වෙළඳ සේවා ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම අද (18 වැනිදා) සමත්විය.
වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 213 ක් පමණි.
නවිඳු නිර්මාල් පන්දු 99 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර තරුෂාන් ඉද්දමල්ගොඩ ලකුණු 43 ක් රැස්කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සහ දැරීය.
තරුෂාන් ඉද්දමල්ගොඩ සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 79 කදී ලකුණු 67 ක සම්බන්ධතාවයක් පවත්වමින් කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ කණ්ඩායම් ඉනිම ගොඩනැගූ නවිඳු නිර්මාල් අටවැනි කඩුල්ල සඳහා චානක දේවින්ද සමගින් එක්ව පන්දු 33 කදී තවත් ලකුණු 48 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.
කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ කණ්ඩායම මර්ධනය කිරීම සඳහා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදා ගැනීමට ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායමේ නායක අශාන් පිරීස් පියවර ගත් අතර සචිත ජයතිලක කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. තරිඳු රත්නායක, සසිඳු පෙරේරා සහ මාලිංග අමරසිංහ කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම ඕවර 41.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ රොස්කෝ තටිල් පන්දු 121 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 103 ක් ලබාගනිමින් ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. රොස්කෝ තටිල්ට අනගි සහයක් ලබාදුන් අශේන් සිල්වා පන්දු 97 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 86 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 31 කට කඩුලු 3 ක් දැවී තිබියදී සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ රොස්කෝ තටිල් සහ අශේන් සිල්වා පන්දු 206 කදී ලකුණු 186 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ කණ්ඩායමේ නායක රජිත අසලාරච්චි විසින් පන්දු යවන්නන් 9 දෙනෙකු යොදා ගත්තද ඔවුන්ගේ ජයග්‍රහණය වැලැක්වීමට අපොහොසත් විය.
කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 213
(ශෂික තිවංක 29, තරුෂාන් ඉද්දමල්ගොඩ 43, නවිඳු නිර්මාල් නොදැවී 79, සචිත ජයතිලක 38/3)
ජෝන් කීල්ස් ‘බී’ - ඕවර 41.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 217
(රොස්කෝ තටිල් නොදැවී 103, අශේන් සිල්වාගේ නොදැවී 86, පූර්ණ චාරුක 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.