Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වසර 23කට පසුව මුණගැසීමක්
ආසියානු කුසලාන

වසර 23කට පසුව මුණගැසීමක්

editorial - 2022 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ආසියානු කුසලාන (2023) පාපන්දු සුදුසුකම් තෙවැනි (අවසන්) වටයේ ශ්‍රී ලංකාව හා උස්බෙකිස්ථානය අතර තරගය හෙට (8) මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට උස්බෙකිස්ථානයේ නමන්ගාන් නුවර මර්කාසි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම දෙරට අන්තර්ජාතික පාපන්දු තරගයකදී මුණගැසෙන්නේ වසර 23කට පසුවය. අවසන් වරට 1999 දී දෙරට ආසියානු කුසලාන තරග වටයකදී මුණගැසුණු අවස්ථාවේදී එම තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 6–0 කට පරාජය වී තිබේ.

කටාර් රාජ්‍යයේදී පැවති පුහුණු සැසිවාරයකට සහභාගිවීමෙන් පසුව නමන්හාන් නුවරට ළඟා වූ ශ්‍රී ලංකා පාපන්දු (සංචිත) කණ්ඩායමට අද තරගයේදී සිය පුහුණුකරුවන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ ප්‍රබල ප්‍රතිවාදියෙකු හමුවේ ජයග්‍රහණය කෙසේවෙතත් වඩාත් ආරක්ෂාකාරී පියවරකට යමින් පරාජයේ හානිය අවම කර ගැනීමට උත්සාහ දරන ලෙසයි.

මාර්තු 31 වැනිදා අවසන් වරට සිදු කළ ලෝක පාපන්දු ශ්‍රේණිත කිරීම් අනුව සත්කාරක උස්බෙකිස්ථානය 83 වැනි ස්ථානයේ පසුවේ. එහෙත් ශ්‍රී ලංකාව මේ වනවිට එම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 205 වැනි ස්ථානය තරම් පහළ මට්ටමක පසුවේ.

කටාර් පුහුණු සැසිවරය අතරතුර ශ්‍රී ලංකා සංචිත කණ්ඩායම නේපාලය සමඟ පැවති පුහුණු තරගයක් ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කළේය.

ආසියනු ශ්‍රේණිගත කිරීම්වලදී උස්බෙකිස්ථානය 11 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 45 වැනි ස්ථානයේත් පසුවන තත්ත්වයන් තුළදීත් මෙම දෙරටේ පාපන්දු දස්කම්හි පරතරය පැහැදිලි වේ.

ශ්‍රී ලංකාව වසර 2021 ජුනි මාසයේ සිට මේ දක්වා අන්තර්ජාතික පාපන්දු තරග 11කට සහභාගි වී තිබේ. එහිදී ජයගෙන ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයක් (2-1) පමණි.

ඉන්දියාව (0-0), මාලදිවයින (4-4) සමග තවත් තරඟ තුනක් එහිදී ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවත් සෙසු සියළු තරග පරාජයට පත්ව තිබේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව අවසන් වරට තරඟ වැදුණු කොළඹදී පැවති අගමැති කුසලාන සිව්කොන් තරඟාවලියේ අවසන් මහ තරගය නියමිත කාලයේදී ගෝල 3-3 කට සම කළත් දඬුවම් පහර ප්‍රදානයේදී (1-3) පරාජය වීමෙන් වසර 26 කට පසුව අන්තර්ජාතික පාපන්දු කුසලානයක් දිනාගැනීමේ අවස්ථාව වැළකී ගියේය.

අද ශ්‍රී ලංකාවට මුණගැසෙන බලසම්පන්න ප්‍රතිවාදියා වන උස්බෙකිස්ථානය 2021 මාර්තු මාසයේ සිට මේ දක්වා සහභාගී වී තිබෙන ජාත්‍යන්තර පාපන්දු තරඟ ගණන 12කි. ඉන් තරඟ හතක්ම ජය ගැනීමට ඔවුන් සමත්ව සිටිති.

මෙම වසරේ මෙතෙක් මුහුණ දුන් තරඟ තුනේම ජයත් ඔවුන්ටමය. කිරිකිස්තානයට (3-1), උගන්ඩාවට (4-2) හා දකුණු සුඩානයට (3-0) එරෙහිව ඔවුන් එම ජයග්‍රහණ වාර්තා කර තිබේ.

උස්බෙකිස්ථාන කණ්ඩායම් නායක එල්දෝර් ෂොමුරොඩොව් ජාත්‍යන්තර මේ වනවිට තරඟ 54 ක අත්දැකීම් හෙබි ගෝල 28ක් රැස් කිරීමට සමත්ව තිබෙන ප්‍රබලතම ක්‍රීඩකයෙකි. අයිගෝර් සර්ජියෙව් ජාත්‍යන්තර තරග 60කදී ගෝල 28ක් ලබාගත් තවත් එවනිම අත්දැකීම් හෙබි ප්‍රබල ක්‍රීඩකයෙකි.

අද සිට උස්බෙකිස්ථානයේදී පැවැත්වෙන ආසියානු සුදුසුකම් තරග වටයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ලොකුම වෙනසක් වන්නේ ඊට අළුතින් එක්ව සිටින විදේශීය පුහුණුකරුවන් දෙදෙනායි.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් හා සහය පුහුණුකරු ලෙස කටයුතු කරන එංගලන්ත ජාතික කීත් ස්ටීවන්ස් මහතායි.

ඒ හැරෙන්නට මෙරටට ආගන්තුකයෙකු නොවන මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබෙන බ්‍රසීල ජාතික ජෝර්ජ් ෆෙරෙයිරා මහතා මෙම තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික අභ්‍යාස පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ඒ හැරෙන්නට ගෝල් රකින්නන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් සේවය ලබාදෙන්නේ බොස්නියානු ජාතික අමීර් ඩොක්සහල්ටික් මහතායි.

අද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නාද වන 29 හැවිරිදි සුජාන් පෙරේරා ජාත්‍යන්තර තරඟ 41ක අත්දැකීම් හෙබි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයායි.

කවිඳු ඉෂාන් ජාත්‍යන්තර තරඟ 35 ක අත්දැකීම් ලද ක්‍රීඩකයෙකි. එහෙත් ඔහු මෙතෙක් රැස්කර ඇත්තේ එක් ගෝලයක් පමණි.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් ජාත්‍යන්තර තරග වැඩිම ගෝල ලාභියා බවට පත්ව සිටින ජර්මන් සම්භවයකින් යුත් අහමඩ් වසීම් රසීක් මෙම් තරඟ සංචාරයට එක් නොවීම ශ්‍රී ලංකාවට යම් අවාසියකි. ඔහු මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රාන්ත තරගාවලියට සහභාගී වී සිටියි.

 


අදහස් (0)

වසර 23කට පසුව මුණගැසීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.