Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි ක්‍රීඩකයන් සංචිතගත කිරීමට අවසර ඉල්ලයි

රග්බි ක්‍රීඩකයන් සංචිතගත කිරීමට අවසර ඉල්ලයි

යොහාන් භාසුර - 2021 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියානු රග්බි සංගමයේ සංවිධානයෙන් ලබන අප්‍රේල් මස චීන තායිපේහිදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ආසියානු රග්බි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා ක්‍රීඩකයන් සංචිතගත කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය එක්ව ශ්‍රී ලංකා වයස 19 න් පහළ රග්බි කණ්ඩායම තෝරාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

තෝරාගත් රග්බි ක්‍රීඩකයන් බස්නාහිර දකුණ, බස්නාහිර උතුර සහ මහනුවර ලෙස මධ්‍යස්ථාන තුනක ස්ථානගත කර තේරීම් තරග පැවැත්වීමට සැළසුම් කර තිබේ.

දකුණු පළාතේ ගාල්ල සහ මාතර ප්‍රදේශයේ ක්‍රීඩකයන් බස්නාහිර දකුණ මධ්‍යස්ථානයට ද, කුරුණෑගල සහ අවට ප්‍රදේශයේ ක්‍රීඩකයන් මහනුවර මධ්‍යස්ථානයට ද, කැඳවීමට සැළසුම් කර තිබේ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ පාසල් ක්‍රීඩකයන් සංචිතවලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය අනිවාර්ය බැවින් අනුමැතිය ඉල්ලා ලිපියක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කළ බවයි.

“අපි මොනවා කරන්නත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබිය යුතුයි. අනුමැතිය ලැබුණොත් මේ මස 10 වැනිදා සිට වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා” යැයි විජේරාම මහතා වැඩි දුරටත් පැවසීය.

වයස 19 න් පහළ ආසියානු රග්බි තරගාවලිය පසුගිය දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අතර ‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් ලබන අප්‍රේල් මස දක්වා කල්දැමීය.  මෙම තරගාවලියට කණ්ඩායම සහභාගි කරන බවට ශ්‍රී ලංකා රග්බි සංගමය පසුගිය මැයි මස ස්ථිර කර තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පවසන්නේ සෙසු ක්‍රීඩා මෙන්ම රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට ද බලධාරීන් මැදිහත්විය යුතු බවයි.

“කොවිඞ් අවදානම කියලා මෙම වසරත් අතහරින්න බෑ. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා රග්බි ක්‍රීඩාව පවත්වාගෙන යන්න නිර්දේශ සකස් කරලා අවස්ථාව දෙන්න කියලා” යැයි ඉල්ලියාස් මහතා වැඩි දුරටත් පැවසීය.
 

 


අදහස් (0)

රග්බි ක්‍රීඩකයන් සංචිතගත කිරීමට අවසර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.