Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලින්ද - නිසල කණ්ඩායමට එක්වෙති

මාලින්ද - නිසල කණ්ඩායමට එක්වෙති

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වන තෙවැනි සහ අවසන් තරගයට වමතින් පා දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර සහ දකුණතින් මද වේග පන්දු යවන නිසල තාරක කැඳවීමට තීරණය කර තිබේ.

පළමු තරග දෙකට සහභාගි වූ පිට දඟ පන්දු යවන තරිඳු කෞෂාල්ට සහ වේග පන්දු යවන විශ්ව ප‍්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථාන අහිමිවී තිබේ.

ශ‍්‍රී ලංකා පිල දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී අද (19) පෙරවරුවේ පුහුණු සැසියකට සහභාගි වූ අතර එම පුහුණු සැසියෙන් පසුව ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා පැවසුවේ මෙම තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් දෙකක් කිරීමට නියමිත බවයි.

”මෙහිදී විශ්ව වෙනුවට නිසල තාරක ක‍්‍රීඩා කරනවා. කෞෂාල් වෙනුවට මාලින්ද පුෂ්පකුමාර ක‍්‍රීඩා කරනවා”

”අවාසනවාකට අපිට කොළඹ සහ නුවර පැවැති පළමු තරග දෙකේදී වර්ෂාව නිසා දවස් එකහාමාරක් විතර අහිමි වුණා. එහිදී පන්දු යවන්නන්ටයි පිතිකරුවන්ටයි අවස්ථා දෙකයි ලැබුණේ. මම හිතනවා දඹුල්ලේදී දින හතරම ක‍්‍රීඩා කරලා තරගය ජයග‍්‍රහණය කරලා තරගාවලිය ජයග‍්‍රහණය කරන්න අපි හොඳ මානසික තත්ත්වයක ඉන්නවා”

කුසල් පෙරේරාට ලබන මස පැවැත්වෙන පාකිස්තානු සංචාරයේදී ටෙස්ට් වරම් ලැබේද යන ප‍්‍රශ්නයට කළුවිතාරණ මහතා මෙසේ පිළිතුරු සැපයීය.

”ඔහු ක‍්‍රීඩා කරන විලාශයට මම හිතනවා ඔහුට අවස්ථාවක් ලැබෙයි කියලා. ඔහු ලකුණු අතර සිටින නිසා නොවෙයි ඔහු හොඳට ක‍්‍රීඩා කරන නිසා අවස්ථාව ලැබෙයි. ඇත්තෙන්ම මගේ ඉලක්කය ජයග‍්‍රහණයට වඩා ක‍්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ලබාදීමයි. දිගින් දිගටම දස්කම් අතර සිටිය හැකි ක‍්‍රීඩකයන් ලබාදීමයි මගේ බලාපොරොත්තුව”

”මෙම තරගාවලියේදී ලොකු සියේ ඒවා ගහන්න බැරි වුණාට ක‍්‍රීඩකයන් කීප දෙනෙක්ම ලකුණු අනූගණන් රැස් කළා”

”ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මීට පෙර කඩුලූ රක්නින්නාට අමතරව කඩුලූ රකින්නන් තුනක් ක‍්‍රීඩා කළ අවස්ථාව තිබෙනවා. ඒක ප‍්‍රශ්නයක් වෙයි කියලා මම හිතන්නේ නෑ. ඔහු ක‍්‍රීඩා කරන විලාශයට මම හිතන්නැ ඔහුට බාධාවක් වෙයි කියලා. එය සම්පූර්ණයෙන්ම තේරීම් කමිටුවේ කාර්යයක්, එම නිලධාරීන් තරග නරඹනවා. අපිත් එක්ක කථා කරනවා”

කුසල් මෙම පාකිස්තානු ‘ඒ’ සංචාරයේ එක්දින තරග තුනේදී සහ සිවුදින තරග දෙකේදී ශතක තුනක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 453 ක් රැස්කිරීමට සමත්ව සිටියි. 24 හැවිරිදි කුසල් එක්දින තරග 43 කට ක‍්‍රීඩා කර තිබෙන අතර මේ දක්වා ටෙස්ට් වරම් ලබා නොමැත.

මෙම තරගය වෙනුවෙන් සකස්කරමින් තිබෙන තණතීරුව පිළිබඳව කළුවිතාරණ මහතා මෙසේ අදහස් දැක්වීය.  

”දඹුල්ලේ සාමාන්‍ය තණතීරුවකට වඩා මේ තරගයට සූදානම් කර තිබෙන තණතීරුවේ තණකොළ ටිකක් තියෙනවා. මෙහෙට පසුගිය සතියේ වර්ෂාව ලැබී තිබෙනවා. ඒ නිසා තණතීරුවේ කළු ගතියක් තියෙනවා. ඒ කියන්නේ තෙත බව තියෙනවා. අදත් හෙටත් හිරු එළිය දැඩිව වැටුණම වේලෙයි. ඒ නිසා හෙට උදේ තමයි පන්දුවට පහර දෙනවාද, පන්දු යවනවද කියලා තීරණය කරන්නේ”

ක‍්‍රීඩාංගණ නිලධාරියකු පැවසුවේ දින හතරකින් පමණ වර්ෂාව නොලැබුණු බවත් පෙරවරුවේ මීඳුම් තත්ත්වයක් දැකගත හැකි බවත්ය.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් විසඳුමක් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවිය.

පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගය ද විසඳුමකින් තොරව අවසන් විය.  

ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතය
අශාන් ප‍්‍රියන්ජන් (නායක), උදාර ජයසුන්දර, ධනංජය ද සිල්වා, මාධව වර්ණපුර, කිත්රුවන් විතානගේ, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, තරිඳු කෞෂාල්, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, විශ්ව ප‍්‍රනාන්දු, රොෂේන් සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක සහ කසුන් මධුසංක

පාකිස්තාන් ‘ඒ’ සංචිතය
ෆවාඞ් අලාම් (නායක), උමාර් අමීන්, අලි අසාඞ්, කුරාම් මන්සූර්, අද්නන් අක්මාල්, ෂසායිබ් අහමඞ්, සියා උල් හක්, මීර් හම්සා, උමාර් සිද්දික්, අලි වකාස්, ෂශාඞ් අසාම්, ෂාන් මසූඞ්, උස්මන් සලාවුද්දීන්, සෆාර් ගෝහාර්, තබීෂ් ඛාන් සහ ඉමාඞ් වසිම්


අදහස් (0)

මාලින්ද - නිසල කණ්ඩායමට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.