Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලදිවයින හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

මාලදිවයින හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2017 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ මාලදිවයින් කණ්ඩායම ලකුණු 86 -14ක් ලෙස පරාජය කර විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09දා) සමත්විය. මෙම තරගාවලිය දකුණු කොරියාවේ ජොංජු නුවර හවසාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගයේ පළමු කාර්තුව වේගවත්ව ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, එම කාර්තුව නිමාකළේ, ලකුණු 22-05 ක් ලෙස පෙරමුණ ගනිමිනි. එහිදී සචිනි රොද්‍රිගෝ, නිලුම් හපුආරච්චි හා ශ්‍රී ලංකා ගෝල විදින්නිය වන කවීනා රාජපක්‍ෂගේ දක්‍ෂතා කැපී පෙනුණි. දෙවැනි කාර්තුවේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තමන්ගේ ප්‍රහාරය ලිහිල් නොකළ අතර, එම කාර්තුව ලකුණු 21-03 ක් ලෙස නිමාකිරීමට හැකිවිය.

කෙසේ වෙතත් තෙවැනි හා සිවුවැනි කාර්තු වඩාත් සංයමයකින් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම කාර්තුවලදී පිළිවෙළින් ලකුණු 23-04 ක් හා 20-02 ක් වශයෙන් ප්‍රබලව ක්‍රීඩා කරනු දැකගත හැකිවිය. මෙහි සමස්ත කාර්තුවලදී ශ්‍රී ලංකා ලකුණු සටහන දැක්වූයේ 22-05 ක්, 43-08 ක්, 66-12 ක් හා 86-14 ක් වශයෙනි. මෙම තරගයේදී ශ්‍රී ලංකා නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු තෙවැනි කාර්තුවේ සිට කැඳවීමට පුහුණුකාරිනිය කටයුතු කළාය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 03 කට සහභාගිවී, ඉන් තරගයක් පරාජයට පත්ව තරග 02ක් ජයගැනීමට සමත්ව සිටියි. එමෙන්ම සමස්ත තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩිකාව වශයෙන් තවමත් පෙරමුණේ පසුවන්නේද ශ්‍රී ලංකා ක්‍රීඩිකා කවීනා රාජපක්‍ෂයි.

ශ්‍රී ලංකාව තරගවදින කාණ්ඩයේ මේ වනවිට හොංකෙං රාජ්‍ය පෙරමුණේ පසුවන අතර, ඔවුන් මුහුණදුන් තරග තුනම ජයගෙන සිටියි. ශ්‍රී ලංකාව එහි  දෙවැනි ස්ථානයේ පසුවෙයි.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය හෙට (10දා) හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භවීමට නියමිතය. වත්මන් ආසියානු යොවුන් ශූරියන් වන ශ්‍රී ලංකාවට එම අභිමානය රැකගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වන අතර, එයද වැඩි ලකුණු පරතරයකින් විය යුතුය.

අද (09දා) දිනයේදී තරග තුනක් පැවැති අතර, එහිදී ඉන්දියාව විසින් සත්කාරක දකුණු කොරියාව ලකුණු 67-20 ක් වශයෙන් පරාජය කළ අතර, හොංකොං රාජ්‍ය විසින් ලකුණු 51-35 ක් වශයෙන් තායිලන්තය පරාජය කරන ලදි. මීට අමතරව චීන තායිපේට එරෙහි තරගයෙන් ලකුණු 71 -29ක ජයක් වත්මන් අනුශූරියන් වන මැලේසියාවට හිමිවිය.

හෙට  තරගාවලියේ 05 වැනි දිනය වන අතර, බ්‍රහස්පතින්දා(11දා) විවේකී දිනයකි. ඉකුත් සෙනසුරාදා (06දා) ඇරඹුණු මෙම තරගාවලිය 13 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම තරගය නැරඹීම සඳහා දකුණු කොරියාවේ රැකියාව කරන ශ්‍රී ලංකිකයන් පිරිසක්ද පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට කටයුතු කළේය.

 


අදහස් (0)

මාලදිවයින හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.