Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාලදිවයින පරාජය කිරීමේ සිහින බොඳවෙයි

මාලදිවයින පරාජය කිරීමේ සිහින බොඳවෙයි

editorial - 2022 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව ගෝල 1-0කට පරාජය කරමින් මාලදිවයින අද (14) පස්වරුවේ ‘නමන්ගාන් නුවරදී පැවැති ආසියානු කුසලාන (2023) පාපන්දු සුදුසුකම් වටයේ තරගය ජය ගැනීමට සමත් විය.

ඒ සමගම ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන (2023) තරගාවලියේ ඉදිරියට යාම නිමාවට පත්විය. උස්බෙකිස්ථානයේ ‘නමන්ගාන්’ නුවරදී අද  නිමාව දුටු මෙම සුදුසුකම් වටයේදී ශ්‍රී ලංකාව සහභාගී වූ තරග තුනක්ම පරාජයට පත්විය.

මෙම  තරග වටයේ පෙර පැවැති තරග දෙකකදී ශ්‍රී ලංකාව උස්බෙකිස්ථානය හමුවේ ගෝල 3-0කින්ද තායිලන්තය හමුවේ ගෝල 2-0කින් ද පරාජයට පත්විය.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතා ඉකුත් මැයි 20 වැනිදා වැඩ බාර ගත්තේය. ඔහුට මෙම තරග වටයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ලබාදී තිබූ ආසන්නතම ඉලක්කය වූයේ මාලදිවයින සමග තරගය ජය ගැනීම හෝ අවම එම තරගය සම කරමින් අවසන් කිරීමයි.

කෙසේ වුවත් එම ඉලක්කය මාලදිවයිනට පරාජය වීමෙන් වැළකී ගියේය. තරගයේ 63 වැනි විනාඩියේදී මැදපෙළ ක්‍රීඩක හම්සාන් මොහොමඩ් රැස්කළ ගෝලය මෙම තරග වටයේදී මාලදිවයිනට හිමි වූ එකම තරග ජයග්‍රහණයටද හේතු විය.

 විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ නිරන්තරයෙන් මුණ ගැසෙන දෙරටත් ලෙස කැපී පෙනෙන ශ්‍රී ලංකාව හා මාලදිවයින ජාත්‍යන්තර පානන්දු  තරගයකදී අවසන් වරට මුණගැසුණු පසුගිය 2021 සැත්තැම්බර් මාසයේ කොළඹ පැවැති අගමැති කුසලාන සිව්කොන් තරගාවලියේදී ගෝල 4-4ක් ලෙස සම වී තිබේ.

අද තරග පරාජයත් සමග වසර 21කට පසුවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගයකදී මාලදිවයින පරාජය කිරීමට දැරූ උත්සාහය  අසාර්ථක විය. මාලදිවයින ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා කළ 10 වැනි තරග ජයග්‍රහණය ලෙසත් එය වාර්තාවේ. ශ්‍රී ලංකාවේ ඔවුන්ට එරෙහිව ලද ජයග්‍රහණ මෙතෙක් තුනකට (3) පමණක් සීමාවී තිබේ.

මෙම තරගයේදී මාලදිවයිනේ ක්‍රීඩකයන් දෙදෙනෙකු දැඩි අවවාද ලබන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත රත්නායක විනිසුරු වෙතින් දැඩි අවවාද ලබා කහකාඩ් පත ලැබීය. මාලදිවයින් පිලේ ක්‍රීඩකයන්ගේ ආදේශ කිරීම් හතරක් වන විට ශ්‍රී ලංකා පිලේ ගණනින් එය දෙකකි.

ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ඊයේ සුජාන් පෙරේරාගේ ඉවත්වීමෙන් යොවුන් ක්‍රීඩක මොහොමඩ් සයිෆන් කටයුතු කළේය. දැල් රකින්නාගේ කාර්යභාරය ඉටු කළේ කවිෂ් ප්‍රනාන්දුය.

ඒ අනුව අද රාත්‍රියේ මෙම තරග වටය නිමාවට පත්කරමින් උස්බෙනිස්ථානය හා තායිලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතව තිබුණි. එහි ජයග්‍රාහකයා ආසියානු කුසලාන (2023) ඉදිරි තරග වටය සඳහා නිර්දේශ ලැබීමට නියමිතව සිටියේය. මෙම දෙරටම ඒ වන විට තරග වටයේ අපරාජිතව සම ලකුණු ලබා කල්ගෙවමින් සිටියේය.  මෙම තරගය සම වන්නේ නම් දෙපිලේ ගෝල රැස්කිරීමෙන් ඉදිරියෙන් පසුවූයේ උස්බෙකිස්ථානයයි.


අදහස් (0)

මාලදිවයින පරාජය කිරීමේ සිහින බොඳවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.