මේ මස 19 වැනිදා සිට 26 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි නගරයේදී පැවැත්වෙන යොවුන් (බාලිකා) බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා මධුමාලි ප්‍රියදර්ශනී සහ සෙව්වන්දි ප්‍රනාන්දු සුදුසුකම් ලබා සිටිති. ආසියානු බොක්සිං සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා ලොව වටා රටවල් 38 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 200 ක් පමණ සහභාගි වන අතර එහිදී ඔවුන් පදක්කම් 40 ක් සඳහා තරග වදිති.
මෙම තරගාවලිය ලබන වසරේ (2018) ආජන්ටිනාවේදී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසද හැදින්වේ.
පල්ලේබෝවල මහ විදුහලේ ශිෂ්‍යාවක් වන මදුමාලි ප්‍රියදර්ශනී කිලෝ ග්‍රෑම් 45-48 බර පංතිය යටතේද, කෑගලු මහ විදුහලේ ශිෂ්‍යාවක් වන සෙව්වන්දි ප්‍රනාන්දු කිලෝ ග්‍රෑම් 48-51 බර පංතිය යටතේද මෙම තරගාවලියට සහභාගි වෙති. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම තවමත් 17 වැනි වියේ පසුවෙති.
සෙව්වන්දි සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙය වන අතර මදුමාලි සහභාගිවන දෙවැනි ජාත්‍යන්තර තරගාවලිය මෙයයි. මේ වසරේ බහමාස්හිදී පැවැති යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය බොක්සිං තරගාවලිය මදුමාලි සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගාවලිය වූ අතර එහිදී නවසීලන්ත ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට පත්වීම නිසා ඇයට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවූවාය.
|
මධුමාලි ප්‍රියදර්ශනී |
සෙව්වන්දි ප්‍රනාන්දු |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.