ලබන සඳුදා (18) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය සිව්වැනි වතාවටත් කල් දැමීමට සිදුව තිබේ. නිලවරණ කමිටුවෙන් නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයන් පිරිසක් ක්‍රීඩා ඇමැතිවරයා වෙත ගොනු කළ අභියාචනා විභාග කර අවසන් වනතුරු පා පැදි සම්මේලනයේ නිලවරණය නැවත අත්හිටුවීමට සිදුවූ බව පා පැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා පැවැසීය.
ඉදිරි වසර 4 ක කාලයද සඳහා වන පාපැදි සම්මේලනයේ නිලවරණය පසුගිය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට යොදාගත් නමුත් අනතුරුව එය විටින් විට නොවැම්බර් 9, දෙසැම්බර් 18 යන දිනවලට යොදා ගනු ලැබීය. එම සෑම අවස්ථාවකදීම නිලවරණය අත්හිටුවීමට සිදුවූයේ නිලවරණයට සහභාගි කරගන්නා ක්‍රීඩා සමාජ හා ඊට ඉදිරිපත්වූ අපේක්ෂකයන් ගොනු කළ විරෝධතා හේතුවෙනි.
ලබන සඳුදා පැවැත්වීමට තීන්දුකර තිබූ පා පැදි සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත්වූ අයැදුම්පත් 36 න් 14 ක්ම නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි. ඒ අතර සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාගේ නාමයෝජනාවද විය.
කෙසේ වුවත් ඔහුගේ නාමයෝජනාව නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කිරීම මතභේදයට තුඩුදී තිබුණි. එම නාමයෝජනාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ විරෝධතාවලට පදනමක් නොමැති බවට නිලවරණ කමිටුව විසින්ම තහවුරුකර තිබුණත් ඔහුගේ නාමයෝජනාව නිල වශයෙන් පිළිගැනීමට එහිදී කමිටුව පියවර ගෙන නොතිබුණි.
වාර්තාවන පරිදි පා පැදි සම්මේලනයේ නිලවරණය ජනවාරි මාසයේ මැද භාගයේදී පමණ පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ. එහිදී නිලවරණයේදී ක්‍රීඩා සමාජ 41 කට ඡන්ද බලය හිමිවන අතර ක්‍රීඩා සමාජ 58 ක් එදින නිලවරණයට සමගාමීව පැවැත්වෙන මහසභා රැස්වීම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.
පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා හා එහි හිටපු උප සභාපතිවරයකු වන විල්මන් පෙරේරා යන මහත්වරුන් භාරදුන් නාමයෝජනා දෙක පමණක් මේ වනවිට සභාපති ධුර අපේක්ෂකත්වය සඳහා පිළිගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.