ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට සුදුස්සෙකු තෝරාගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේ විනිවිදභාවය පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ඊට අයැදුම් කළ හිටපු ජාතික දැල්පන්දු පුහුණු කාරිනියක් වන හයිසින්ත් විජේසිංහ මහත්මිය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා වෙත අභියාචනයක් භාරදී තිබේ.
ඒ සඳහා කැඳවූ අවසන් සම්මුඛ පරීක්ෂණය පසුගිය අඟහරුවාදා (7 වැනිදා) පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන් සම්මේලනය කටයුතු කළේය. ඒ සඳහා හයිසින්ත් විජේසිංහ මහත්මිය හැරෙන්නට බෲනාහි රාජ්‍යයේ ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස මෙනවිය හා හිටපු ජාතික දැල්පන්දු නායිකාවක් වන සොමිතා කුමාරි අල්විස් යන මහත්මියද පෙනී සිටියහ.
අවසන් සම්මුඛ පරීක්ෂණයයේදී වැඩිම ලකුණු ලබා ගත් බව කියන තිලකා ජිනදාස මෙනවිය නව ජාතික දැල්පන්දු පුහුණුකාරිනි ලෙස නිර්දේශ කිරීමට දැල්පන්දු සම්මේලනය තීරණය කර ඇතැයිද වාර්තාවේ. ඒ සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ පත්වීම බලාත්මක වේ. හයිසින්ත් විජේසිංහ මහත්මිය සිය විරෝධතාව මගින් කියා ඇත්තේ අවසන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමේ විිනිවිද භාවය පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවය.
එහිදී ඇය සිය අභියාචනාවන් අවධාරණය කර ඇත්තේ ජාතික පුහුණුකාරිනිය නිර්දේශ කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව දැල්පන්දු සම්මේලනය අයදුම්කාරියන් දැනුම්වත් කර නොතිබූ බවත් ඔවුන්ගේ අතීතයට බලපාන සුසුකම් ගැනිය යුත්තේ වසර පහක පමණක් වන කාලයකට වුවත් දැල්පන්දු සම්මේලනය එය වසර 10 ක් දක්වා වන පරිදි සඳහා බැලීමට තීරණය කිරීමෙන් ඇතැම් අයැදුම්කාරියන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වීමට එය හේතුවක් වූ බවත්ය.
ඒ අතර දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය අවසන් සම්මුඛ පරීක්ෂණය මෙහෙයවීමට ඍජුවම සම්බන්ධවූ බවත් එහිදී ඇය චෝදනා කර තිබේ. ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගි කරන ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරිම නව පුහුණුකාරිනියට පැවරෙන මූලික වගකීමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.