නාමල් පතිරගේ
කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පෙබරවාරි 17 වැනිදා පැවැති ජාතික ශූරතා මංචි කුසලාන වොලිබෝල් තරග මාලාවේ ආධුනික බී කාණ්ඩයේ පිරිමි ශූරතාව රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජයට නිල වශයෙන් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.
එදින හලාවත ෆාහිම් ජෙම්ස් ක්‍රීඩා සමාජය සමග පැවැති බී කාණ්ඩයේ පිරිමි වොලිබෝල් අවසන් මහ තරගයේ ජය වට 3 - 2 කට ජය ගත්තේ රාජසිංහ ක්‍රීඩා සමාජය විසිනි.
එහෙත් මෙම අවසන් මහ තරගයට එරෙහිව පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ විරෝධතාවයක් සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා තරග සංවිධායකයන්ට දැනුම්දී තිබුණේ යොදා ගත් පරිදි ආධුනික බී කාණ්ඩයේ අවසන් මහ තරගය පැවැත්වීමට බාධාවක් නැතත් එහි ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් හා ජය සංකේත හා ත්‍යාග ප්‍රදානය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.
ආධුනික කාණඩයේ (පිරිමි) අවසන් පූර්ව තරගය ජයගත් පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදී ෆාහීම් ජෙම්ස් කණ්ඩායම ගොනු කළ විරෝධතාවක් ජය ගැනීමෙන් පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායමට හිමිව තිබූ එම අවසන් මහ තරගයේ අවස්ථාව ෆාහිම් ජෙම්ස් කණ්ඩායමට ප්‍රදානය විය.
ඒ සම්බන්ධයෙන් ලකී සික්ස් කණ්ඩායම විසින් ආධුනික පිරිමි අවසන් මහ තරගය වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණයෙන් ලබා ගැනීමට දැරූ උත්සහයද සාර්ථක නොවීය.
එහෙත් එය අවසන් තරගය පැවැති දිනයේදීම අධිකරණයේ කැඳවන අවස්ථාව වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහත කොන්දේසි මත එය පවත්වා අවසන් කර තිබුණි.ඒ අතර ලකී සික්ස් ක්‍රීඩා සමාජය ප්‍රකාශ කළේ පැවැති අවසන් තරගයේ නිල ප්‍රතිඵලය අවලංගු කර ගැනීම සදහා එයින් පසුව නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹෙන බවයි.
කෙසේවූවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ විශේෂ විමර්ෂණ කමිටුව සිය නිර්දේෂ මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක සභාව ෆාහිම් ජෙම්ස් ක්‍රීඩා සමාජයේ විරෝධතාව සම්බන්ධයෙන් නිවැරදි ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද බන්ඩාර මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවැසුවේ විමර්ශන කමිටුවේ නිර්දේෂයන්ට අනුව ඉදිරියේදී රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජයට ආධුනික බී කාණ්ඩයේ ශූරතාවත් ෆාහිම් ජෙම්ස් ක්‍රීඩා සමාජයට එහි අනුශූරතාවත් හා ඔවුන්ට හිමි ශූරතා කුසලාන හා මුදල් ත්‍යාගත් ඉදිරියේ යොදා ගත් දිනකදී ප්‍රදානය කරන බවයි.
විමර්ශන කමිටුව හමුවේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් වින්ග් කමාන්ඩර් එච්.කේ. අකිල ද අල්විස්, උප සභාපති මහින්ද බන්ඩාර හා විධායක කමිටු සාමාජික සරත් කිත්සිරි යන මහත්වරු පෙනී සීටිමින් කරුණු දැක්වූහ.
පුත්තලම ෆාහිම් ජෙම්ස් කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායමට චෝදනා කළේ තරග නීති රීති උල්ලංඝණය වන ආකාරයෙන් එම කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් කර සිටි බවයි.
මෙම සිදුවීම හේතුවෙන් ලකී සික්ස් කණ්ඩායම ආධුනික බී පිරිමි කාණ්ඩයේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන්ද ඉවත් කළ අතර එහිදී තල්පේ දිලෙනතරු ක්‍රීඩා සමාජයට තෙවැනි ස්ථානය නිතරගයෙන් ප්‍රදානය කෙරුණි.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන ආරංචි මාර්ග සදහන් කරන අන්දමට එම සම්මේලනය සංවිධානය කළ තරගාවලියක සිදුවීමක් සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජයක් ව්සින් අධිකරණයේ එහි විධායක සභාවට එරෙහිව නඩුවක් පැවැරූ පළමු අවස්ථාව එයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.