Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මේසපන්දු තරග 1 දා සිට

ජාතික මේසපන්දු තරග 1 දා සිට

ශනුක අරවින්ද - 2014 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන 68 වැනි ජාතික මේසපන්දු තරගාවලිය  කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර කණිෂ්ට අංශයේ තරග ලබන නොවැම්බර් මස 1 වැනිදා (අනිද්දා) සහ 2 වැනිදාත්, ජ්‍යෙෂ්ඨ අංශයේ තරග 8 වැනිදා සහ 9 වැනිදාත්, පැවැත්වීමට නියමිතය.

කණිෂ්ඨ තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 612 ක් ඉදිරිපත්වී සිටින අතර එහිදී බාලක, බාලිකා අංශ දෙකෙන්ම 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගළ ලෙස තරග පැවැත්වේ. යුගළ සහ මිශ‍්‍ර යුගළ තරග පැවැත්වෙන්නේ 18 න් පහළ වයස් කාණ්ඩය යටතේ පමණි.

ජ්‍යෙෂ්ඨ තරගාවලියේදී ප‍්‍රධාන කාණ්ඩ 5 (පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ‍්‍ර යුගළ) යටතේම තරග පැවැත්වෙන අතර ඒ සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 243 ක් ඉදිරිපත්වී සිටිති. ඊට අමතරව වයස 21 න් පහළ බාලක සහ බාලිකා තරගකරුවන්, වයස 40 න් ඉහළ ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සහ ප‍්‍රවීන තරගකරුවන් සඳහාද මෙහිදී තරග පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියට දිවයින පුරා පාසල් 104 ක් සහ කී‍්‍රඩා සමාජ 32 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගී වන බව ජාතික මේසපන්දු සංගමයේ ලේකම් සමන් රත්නායක මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඉකුත් වසරේ පැවති තරගාවලියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශ දෙකේම ශූරතා දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත් විය. එහි කණිෂ්ඨ අංශයේ බාලිකා ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතාන විසින්ද, ජ්‍යෙෂ්ඨ අංශයේ කාන්තා ශූරතාව ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි විසින්ද දිනාගන්නා ලදහ.

එලිෆන්ට් හවුස් සමාගම, මොබිටෙල් සමාගම සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මෙවර තරගාවලියේ අනුග‍්‍රාහකයෝ ලෙස කටයුතු කරති.

කණිෂ්ඨ තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන අතර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් යන මහත්ම මහත්මීන් එහි විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වීමට නියමිතය.

 


අදහස් (0)

ජාතික මේසපන්දු තරග 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.