(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩායම්හි නිත්‍ය (ගෘහස්ථ )පුහුණුකරු ධූරයේ කටයුතු කිරීම සදහා ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු ග්‍රීක ජාතික පෙට්රොස් පෙට්රොග්ලූ මහතා ඊයේ (22) දිවයිනට ළගා විය.
එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (2027) දක්වා වසරක කොන්ත්‍රාත් කාලයක සේවය සදහා පෙට්රෝස් මහතා ඊයේ දිවයිනට ළගාවූ අතර ඔහුට වැටුප් ගෙවීම ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ අනුග්‍රාහය දක්වන අතර මෙරට ඔහුගේ නේවාසික පහසුකම් සදහා අනුග්‍රාහය දරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති හා මූල්‍ය කමිටුවේ සභාපති මහින්ද බන්ඩාර මහතා පැවැසුවේ වොලිබෝල් සම්මේලනයේ ලේකම් වින්ග් කොමදෝරු අකිල ද අල්විස් මහතා ජිනිවා නුවරදී ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ ප්‍රධානීන් සමග එහි මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී ඇති කර ගත් එකගතාවය මත ග්‍රීක වොලිබෝල් පුහුණුකරුගේ මෙරට පැමිණීම සිදු වන බවයි.
47 හැවිරිදි පෙට්රෝස් මහතා ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අදියර - 3 පාඨාමාලාව සමත්වූවෙකු වන අතර මීට පෙර ඉන්දියානු වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කර තිබේ. ඔහු ග්‍රීක ජාතික පාපන්දු කණ්ඩායමේ වසර 20 ක් පමණ කාලයක් ක්‍රීඩා කර තිබේ.
ඔහුගේ මාසික දීමනා හා වැටුප් වෙනුවෙන් ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මාසිකව රුපියල් මිලියන තුනකට ආසන්න වියදමක් දරන බව වොලිබෝල් සම්මේලනය පවසයි.
පසුගිය පෙබරවාරී මාසයේ සිට ශ්‍රී ලංකාවේ නිත්‍ය වෙරළ වොලිබෝල් පුහුණුකරු ලෙස තුර්කි ජාතික අර්ජින් ඔනූර් මහතා කටයුතු කරයි. වොලිබෝල් හා වෙරළ වොලිබෝල් යන ඉසව් දෙකටම විදේශීය පුහුණුකරුවන්ගේ සේවය එකවර ශ්‍රී ලංකාවට ලැබෙන පළමු අවස්ථාව මෙය බව මහින්ද බන්ඩාර මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.