Last Update  :  2026-05-07 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කඩවුණු පොරොන්දු

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කඩවුණු පොරොන්දු

editorial - 2026 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී මෙම මස 12 වැනිදා ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 18 න් පහළ) තරගමාලාවට වියදම් හරස්වීමෙන් ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අත් හැර දැමීමට තීරණය කළ බව වාර්තාවේ.

මෙම මස 18 වැනිදා දක්වා එහිදී පැවැත්වෙන  තරග මාලාවට ශ්‍රී ලංකාව බාලක හා බාලිකා කණ්ඩායම් දෙකක් සහභාගි කිරීමට අපේක්ෂා කරමින් මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පසුගිය අප්‍රේල් 7 වැනිදා සිට නේවාසික පුහුණුවීම් ආරම්භ කර තිබුණි.ආරම්භයේදී ඊට ක්‍රීඩකයන්, ක්‍රීඩිකාවන් 36 දෙනකු හා පරිවාර නිලධාරීන් අට දෙනකු ඇතුළත්ව සිටියේය.

කෙසේවූවත් වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා පැන නැගීමෙන් මෙම තරග සංචාරය වඩාත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබියදී ඊයේ (4) වාර්තා වූයේ ඊට වැය කිරීම් ලබාදීමට නොහැකි බවට ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට දැනුම් දුන් බවයි.

ඒ අතර ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ දැනුම් දී ඇත්තේ තරග සංචාරයට සිය අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද කර තිබීමෙන් ගැටලු පැන නැගී තිබෙන බවයි.ජාතික ක්‍රීඩා සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමේදී එහිදී ඇතිවූ බව කියන ප්‍රමාදයක්ද ඊට බලපෑමක් කර තිබෙන බවද වාර්තාවේ.

ජාතික ක්‍රීඩා සභාවේ ආරංචි මාර්ග සදහන් කරන පරිදි බාලක කණ්ඩායමේ සිදුවීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක් හේතුවෙන් එම ප්‍රමාදය සිදුව තිබේ.       

කෙසේවූවත් උද්ගතවෙමින් පැවැති අවිනිශ්චිත තත්වයන් හමුවේ කොටවිලදී පවත්වා ගෙන ගිය නේවාසික පුහුණු සංචිත පසුගිය මැයි 1වැනිදා සිට අත් හිටුවා තිබූ බවද වාර්තාවේ.

කෙසේවූවත් ඒ වන විට නේවාසික පුහුණුවීම් සදහා ක්‍රීඩා අමාත්‍යාංශය  විශාල වියදමක් දරා තිබීමෙන් මෙම තරග සංචාරය නිසි සැලසුම් නොමැතිව සංවිධානය කළ බවට චෝදනා එල්ල වේ.එහෙත් එහි සම්බන්ධ්කරණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගැනීමේදී ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න මහතා මෙම  පාසල් ක්‍රීඩිකාවන් අමාත්‍යාංශයට කැඳවා  පිළිගැනීමේ කතාවක් කරමින් ඔවුන්ට සංචාරය පිළිබඳව ඉහළම බලාපොරොත්තු ලබා දුන් බවද වාර්තාවේ.

තරග සංචාරය සදහා ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 12 දෙනකු බැගින් වන ශ්‍රී ලංකා බාලක හා බාලිකා කණ්ඩායම් දෙකක් නිර්දේශ කර අවසන්ව තිබියදී මෙම තරග සංචාරය අත් හැර දැමීමට සිදුවූ තිබේ.

තරග සංචාරය සදහා පුහුණුකරුවන් හය දෙනකු ඇතුළුව කණ්ඩායම් කළමනාකරුවන් දෙදෙනකු හා ක්‍රීඩිකාවන් භාර නිලධාරිනියක්ද බාලක හා බාලිකා කණ්ඩායම් දෙකට නිර්දේෂ කර තිබුණි.

කෙසේවූවත් ටෂ්කන්ට් තරග සංචාරය සදහා ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි දෙකක් පමණ වැය වෙනු ඇතැයි ගණන් බලා තිබුණි.ඒ පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වන විට ප්‍රතිචාරය වී ඇතැයි පැවසෙන්නේ එය දරා ගත නොහැකි වියදමක් බවයි.

තරග සංචාරයට නිර්දේශ ලබා සිටින බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් බලාපොරොත්තු රඳවා ගනිමින් මේ වන විට පෞද්ගලිකව වියදම් දරමින් ගමන් බලපත්‍ර හා වෙනත් පූර්ව සූදානම් කටයුතු සදහාද වියදම් දරා තිබෙන බැවින් මෙම සිදුවීමෙන් ඔවුන් ඇතුළුව මවුපියන් වඩාත් අසරණවී සිටින බවත් එහිදී දැන ගන්නට ඇත.

ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් හැරෙන්නට තරග මාලාව පැවැත්වෙන දින අටක් සදහා එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවන් එම එක් දිනක් වෙනුවෙන් ඩොලර් 60 ක වියදමක් දැරිය යුතුය.

කෙසේවූවත් පවතින රටේ ක්‍රීඩා නීතිය අනුව පාසල් සිසුන් වන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගි වන පිළිගත් ජාත්‍යන්තර තරග සංචාර සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පමණක් ලබා දෙන අතර ඒ සදහා වියදම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය බැදී සිටින බවද සදහන් වේ.

මෙම නියමය ක්‍රියාත්මක වෙමින් පසුගිය වසර වලදී ඉහත තරග මාලාව සදහා ශ්‍රී ලංකාව කණ්ඩායම් සහභාගි කළ බවද වාර්තාවේ.කෙසේ වූවත් ක්‍රීඩා අමාත්‍යාංශය වියදම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙවර මධ්‍යම ආසියානු වයස 18 න් පහළ වොලිබෝල් තරග සංචාරය අත් හැර දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට සිදුව තිබේ.


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කඩවුණු පොරොන්දු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.