නාමල් පතිරගේ
හොංකොං ආසියානු ශූරතා දැල්පන්දු (නෙට්බෝල් - 2026) තරග සංචාරය ඉලක්ක කරමින් අවධානය යොමු කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියාවේ පුහුණු තරග සංචාරය වෙනුවට මෙරටට නවසීලන්ත විශ්ව ව්ද්‍යාල කණ්ඩායමක් ඒ සදහා ගෙන්වා ගැනීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට උපදෙස් දී තිබේ.
ඒ අනුව ලබන ජූලි 05 වැනිදා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.ඒ අනුව කළින් සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු පුහුණු සංචාරය අත් හැර දැමීමටත් එහිදී තීරණය වී තිබේ.වියදම් අවම කර ගැනීමේදී මෙරටට විදේශීය කණ්ඩායමක් ගෙන්වා ගැනීම වඩාත් ලාභදායි වන බව එහිදී ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහස වී තිබේ.
හොංකොං දේශයේදී ලබන අගෝස්තු 7 වැනිදා සිට 17 වැනිදා දක්වා 14 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය පැවැත්වේ.මේ වන විට ඒ සදහා ක්‍රීඩිකාවන් 15 දෙනෙක්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් නිර්දේශ කර තිබේ.එයින් 12 දෙනකු අවසන් ලෙස නිර්දේශ ලබන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී නිර්දේශ කර ගැනේ.
මේ අතර ජැමෙයිකානු ජාතික ජාත්‍යන්තර දැල්පන්දු පුහුණුකාරිණීයක් වන කොනී ෆ්‍රැන්සිස් මහත්මිය ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ පුහුණුකාරීණිය ලෙස ආසියානු තරග සංචාරය අවසන් වන තෙක් කටයුතු කිරීම සදහා ජූලි මාසයේදී දිවයිනට ළඟාවීමට නියමිතය.ඇය ජැමෙයිකානු ජාතික දැල්පන්දු කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙන අතර බ්‍රිතාන්‍ය දැල්පන්දු ලීග් තරගාවලියේදී (2025) බර්මින්හැම් පැන්තර්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරිය ලෙසත් මීට පෙර කටයුතු කර තිබේ.
බන්ඩාරගම ගෘහස්ථ පිටියේදී ජාතික දැල්පන්දු පුහුණුකාරීනී සොමිතා අල්විස් මහත්මිය යටතේ ජාතික සංචිතය මේ දිනවල නේවාසික පුහුණුවීම්වල නිරතවෙමින් සිටියි.ආසියානු තරග සංචාරයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව තෝරා ගැනීම සදහා සංචිතයේ සියලු ක්‍රීඩිකාවන්ට සිය සුදුසුකම් දක්වමින් ඒ සදහා අයැදුම් කිරීමට අවස්ථාව සලසාදීමට දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී වජිරා නෙත්තිකුමාර මහත්මියගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.
එහිදී වැඩි අවස්ථාව මේ වන විට තහවුරු කර ගෙන සිටින්නේ ජාතික කණ්ඩායමේ හිටපු නායිකාවන් වන දුලංගී වන්නිතිලක,ගයංජලී අමරවංශ ඇතුළුව ගයනී දිසානායක, තිසාලා අල්ගම වැනි කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කීප දෙනෙකි.
වසර 2027 දී මීළගට යෙදෙන සිඩ්නි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් කණ්ඩායම් නිර්දේශ කර ගැනීම තුළින් මෙවර ආසියානු ශූරතා තරගාවලියට වැඩි වටිනාකමක් ලැබී තිබේ. එහිදී ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙක ඒ සදහා නිර්දේශ ලබන බැවින් ඒ සදහා ශ්‍රී ලංකාවට අවම සුදුසුකම වන්නේ අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගැනීමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.