Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් කමිටුව තවත් අර්බුදයක

ඔලිම්පික් කමිටුව තවත් අර්බුදයක

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු ජාතික ක්‍රීඩා සංගම්වල නව තනතුරු සඳහා තේරී පත්වීම බලරහිත වන තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. නොබෝදා පවත්වා අවසන් කෙරුණු නමගිය ජාතික ක්‍රීඩා සංගමයක සභාපති තනතුරට පත්වූ නිලධාරියකුටත් එම තත්ත්වයට මුහුණදීමට සිදුව ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති අංශ පෙන්වා දී ඇත්තේ රටේ ක්‍රීඩා නීතිය ජාතික ඔලිම්පික් කමිටුවටත් එක ලෙසට අදාළ වන බැවින් මෙතෙක් විගණන වාර්තා ඉදිරිපත් නොකළ ජාතික ක්‍රීඩා සංවිධානයක් ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ එකී කාල සීමාවන්ට අයත් ප්‍රධාන තනතුරු දැරූ නිලධාරීන්ට යළිත් ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරු සඳහා ඉදිරිපත් වීම ක්‍රීඩා පනතට පටහැනි බවයි.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ පසුගිය කාලයේ විගණන වාර්තා ඉදිරිපත් නොකළ ඇතැම් ජාතික ක්‍රීඩා සංගම්හි ප්‍රධාන තනතුරු දැරූ නිලධාරීන් වෙනත් ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරුවලට පත්වීමත් ක්‍රීඩා පනතට පටහැනි බවයි.

ක්‍රීඩා පනතේ 2016 අංක 1 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග මාලාවේ 4-ඒ “ග” යටතේ ඒ පිළිබඳව මෙසේ දන්වා තිබේ.

“නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළදී විගණන මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අසමත් වූ හෝ එසේ කිරීම පැහැර හැර ඇති ජාතික ක්‍රීඩා සංගමයක සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරිකවරයකු වශයෙන් ධුරයක් දරා සිටි තැනැත්තකු වේ නම් එවැනි පුද්ගලයකු යම් ජාතික ක්‍රීඩා සංවිධානයකට තෝරා පත්කර ගැනීමට නුසුදුස්සකු විය යුතුය.”

එම තත්ත්වය තුළ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා යළි සභාපති ධුරයට ඉදිරිපත් වෙමින් බාරදුන් නාමයෝජනා පත්‍රය ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවැති පරිපාලන අර්බුදවලින් පසුව නොබෝදා දෙවසරක නිල කාලයක් සඳහා පත් කළ ජාතික ක්‍රීඩා සංගමයක සභාපති ධුරයට පත්වූ නිලධාරියකුගේ එම පත්වීමට එරෙහිවත් එම චෝදනාවම එල්ලවීමෙන් ඔහුගේ නව පත්වීම මේ වනවිට අභියෝගයට ලක්ව තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ විගණනය නොවූ බව කියන වසර 2012 සිට වසර 2016 දක්වා කාල සීමාවන්ට අයත් ගිණුම් වාර්තා මේ වනවිට රජයේ විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

නිලවරණය කැඳවීම සඳහා මෙම ගිණුම් වාර්තා පෙබරවාරි මාසය මැද වනවිටවත් අනුමත කර ලබාදීමට කටයුතු යොදන ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා රජයේ විගණකාධිපතිවරයාගෙන් මේ වනවිටත් පෞද්ගලිකවම ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

 


අදහස් (0)

ඔලිම්පික් කමිටුව තවත් අර්බුදයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.