Last Update  :  2026-02-09 21:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එස්.එස්.සී. පිල ඉහළ නගිද්දී හලාවත මේරියන්ස් පසුබසියි

එස්.එස්.සී. පිල ඉහළ නගිද්දී හලාවත මේරියන්ස් පසුබසියි

editorial - 2026 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 
 
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ තලයේ ශූරතාව දිනාගැනීමට සමත් වීමත් සමග එස්.එස්.සී. ක්‍රීඩා සමාජය යළිත් වරක් ‘ඒ’ තලය දක්වා ඉහළ නැගීමට සමත්ව තිබේ. ඔවුන් එසේ ඉහළ නගිද්දී, ‘ඒ’ තලයේ අවසන් ස්ථානයට පත්වූ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට ‘බී’ තලය දක්වා පසුබැසීමට සිදුව තිබේ.
 
අවිෂ්ක ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ 2024-25 තරග වාරයේදී ‘ඒ’ තලය යටතේ තරග වැදුණු එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, එහි අවසන් කණ්ඩායම් 4 අතරට පත්වීම හේතුවෙන් ‘බී’ තලය දක්වා පහළට ඇද වැටිණ. එහිදී ඔවුන් සමග මහනුවර රේගු, මීගමුව සහ රාගම යන ක්‍රීඩා සමාජද ‘බී’ තලය දක්වා පසු බැස්සේය. 
 
කෙසේ වුවත් මේ වන විට මෙවර තරගාවලියේදී ‘බී’ තලයේ තරග 10 කට ක්‍රීඩා කර ඇති එස්.එස්.සී. කණ්ඩායම ඉන් තරග 9 ක්ම ජයගනිමින් එහි ශූරතාවට හිමිකම් කියා ඇත්තේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය. එස්.එස්.සී. කණ්ඩායම ජයගත් තරග 9 න් 3 ක්ම ඉනිමකින් ජයගත් තරග වන අතර ජය පැරදුමෙන් තොරව නිමා වූ තරගයේදීද ඔවුන් පළමු ඉනිමේ ජයක් ලබා ඇත. 
 
මෙවර තරගාවලියේදී මීගමුව, එක්සත් දකුණු, යුද හමුදා, ලියෝ, මහනුවර රේගු, ගාල්ල, සෙබස්තියනයිට්ස්, රාගම සහ නාවික හමුදා යන ක්‍රීඩා සමාජය පරාජය කළ එස්.එස්.සී. ක්‍රීඩකයෝ, පළමු ඉනිමේ ජයක් ලැබුවේ මැලේ ක්‍රීඩා සමාජයට එරෙහිවය. තරගාවලියේ අවසන් සති අන්තය වන මෙම සති අන්තයේදී ඔවුන්, ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ පසුවන මොරටුව ක්‍රීඩා සමාජයට එරෙහිව තරග වැදීමට නියමිතය. 
 
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට බත්ව සිටින නිපුන් ධනංජය සහ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ප්‍රභාත් ජයසූරිය එස්.එස්.සී. කණ්ඩායම යළිත් ‘ඒ’ තලය වෙත ගෙන ඒම සඳහා සුවිශේෂී වැඩ කොටසක් ඉටු කළහ. ඉනිම් 15 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 831 ක් රැස්කිරීමට නිපුන් සමත් වූ අතර ඉනිම් 18 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 6 ක් සමග කඩුලු 70 ක් දවාගැනීමට ප්‍රභාත් සමත් විය. 
 
මේ අතර මෙවර තරගාවලියේ ‘ඒ’ තලයේ මූලික වටයේ තරග 6 කදී තරග 4 ක්ම පරාජයට පත්වීම හේතුවෙන් දෙවැනි වටයේදී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවූ හලාවත මේරියන්ස් කණ්ඩායම, දෙවැනි වටයේදී සහභාගි වූ තරග 3 දීද පරාජයක් සහ පළමු ඉනිමේ පරාජයක් ලැබීම හේතුවෙන් තරගාවලියේ අවසන් ස්ථානයට පත් විය. 
 
ඒ අනුව එළබෙන 2026-27 තරග වාරයේදී හලාවත කණ්ඩායමට ‘බී’ තලය යටතේ තරග වැදීමට සිදුවනු ඇත. ඔවුන්ට යළිත් ‘ඒ’ තලයට සුදුසුකම් ලැබීමට නම් එම තරගාවලියේදී ‘බී’ තලයේ ශූරතාව දිනාගැනීමට සිදුවනු ඇත. 
 
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී සහභාගි වූ තරගවල ප්‍රතිඵල 
 
මහනුවර රේගු ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 11 ක ජයක් 
ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 183 ක ජයක් 
රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 6 ක ජයක් 
මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් 
සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 7 ක ජයක් 
මැලේ ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් 
යුද හමුදාවට එරෙහිව කඩුලු 7 ක ජයක් 
එක්සත් දකුණු ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 3 ක ජයක් 
ලියෝ ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 9 ක ජයක් 
නාවික හමුදාවට එරෙහිව ලකුණු 209 ක ජයක් 

අදහස් (0)

එස්.එස්.සී. පිල ඉහළ නගිද්දී හලාවත මේරියන්ස් පසුබසියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.