Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද - නාලන්දා 86 වැනි සුලෝහිත සංග‍්‍රාමය 7 - 8

ආනන්ද - නාලන්දා 86 වැනි සුලෝහිත සංග‍්‍රාමය 7 - 8

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයට වැඩිම ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් සංඛ්‍යාවක් දායාද කළ පාසල් දෙක වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 86 වැනි ‘සුලෝහිත සංග‍්‍රාම’ මහ ක‍්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (7 සහ 8) දෙදින එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම පාසල් දෙකෙන් ටෙස්ට් සහ එක්දින ක‍්‍රීඩකයන් 60 අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එක්කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂි ක‍්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන, නාලන්දා විදුහලේ ද, 1996 වසරේ ලෝක කුසලාන දීනු ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග මහතා ආනන්ද විදුහලේ ද ආදි සිසුවෝ වෙති.

මෙම විදුහල් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික පිලට (බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල්) නායකයන් හය දෙනකු බිහිකර තිබේ.

ආනන්ද සහ නාලන්දා විදුහල් දායාද කළ බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, බ්‍රෙන්ඩන් කුරුප්පු, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන, අවිෂ්ක ගුණවර්ධන, මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර යන ක‍්‍රීඩකයෝ ඉදිරියෙන් පසු වෙති.

මෙම මහ ක‍්‍රිකට් තරගයේ 1924 වසරේ සිට පැවැති තරග 85 කදී ආනන්ද විදුහල තරග 12 ක් ද, නාලන්දා විදුහල තරග 6 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ආනන්ද විදුහල අවසන් වරට 2003 වසරේ දමින්ද කුලරත්නගේ නායවත්වයෙන් ද, නාලන්දා විදුහල 1953 වසරේ ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වාගේ නායකත්වයෙන් ද අවසන් වරට ජය ලබා තිබේ.

මෙවර ආනන්ද විදුහල් පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩක සමූ අෂාන් ද, නාලන්දා විදුහල් පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩක මාලිංග අමරසිංහ ද, කටයුතු කරති.

ආනන්ද විදුහල මෙම තරග වාරයේ තරග 15 කට ක‍්‍රීඩා කරමින් කොටහේන ශාන්ත බෙනඩික්, බලපිටිය රේවත, මරදාන ශාන්ත ජෝශප්, පන්නිපිටිය ධර්මපාල සහ වෙස්ලි යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් විය.

මෙවර ආනන්ද විදුහලට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ සහන් ආරච්චිගේ සහ සමූ අෂාන් ඇතුළත්ව සිටීම විශේෂයෙන් කැපී පෙනේ.  

මෙවර ආනන්ද විදුහලේ වැඩිම ලකුණු ලාභියා වන ලක්කන ජයසේකර ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් සමගින් ලකුණු 872 ක් රැුස්කර තිබේ. නිසල් ෆ‍්‍රැන්සිස්කෝ (822), සහන් ආරච්චිගේ (690) සහ සමූ අෂාන් (310) ආනන්ද විදුහල් පිතිකරු ලැයිස්තුවට ඇතුළත්ව සිටින සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

වමතින් පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක සදකැන් පතිරණ මෙම තරග වාරයේදී කඩුලූ 84 ක් දවා ගනිමින් ආනන්ද විදුහල් ප‍්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. පිට දඟ පන්දු යවන සමූ අෂාන් (43) සහ දකුණතින් වේග පන්දු යවන කවිෂ්ක අංජුල (34) පන්දු යැවීමේ බලැනියේ සෙසු ප‍්‍රබලයෝ වෙති.

නාලන්දා විදුහල මෙම තරග වාරයේදී තරග 16 කට සහභාගි වී කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව පූර්ණ ජය ලැබීය. ගාල්ල රිච්මන්ඞ්, ශාන්ත පීතර සහ මහනුවර ත‍්‍රිත්ව යන කණ්ඩායම් හමුවේ පරාජයට පත්විය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩක නායක මාලිංග අමරසිංහ මෙවර නාලන්දා විදුහලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වේ.

දසුන් සෙනෙවිරත්න ලකුණු 559 ක් රැුස්කරමින් මෙම වසරේ නාලන්දා විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. මාලිංග අමරසිංහ (498), රවීන් දසනායක (363) සහ අරෝෂණ කුමාර (289) මෙවර නාලන්දා විදුහලේ සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

දකුණතින් වේග පන්දු යවන ක‍්‍රීඩක අයන්ත ද සිල්වා මෙම තරග වාරයේදී කඩුලූ 30 ක් දවාගෙන තිබේ. තුන් ඉරියව් ක‍්‍රීඩකයන් වන මලික් පීරිස් (29) සහ කවිදු බණ්ඩාර (25) නාලන්දා විදුහල් පන්දු යැවීමේ බලැනිය ශක්තිමත් කරන සෙසු පන්දු යවන්නෝ වෙති.  

ආනන්ද විදුහල් කණ්ඩායම:


සමූ අෂාන් (නායක), ලක්කන ජයසේකර (උප නායක), නිසල් ෆ‍්‍රැන්සිස්කෝ, සහන් ආරච්චිගේ, කවිෂ්ක අංජුල, සෙනාල් කොරළගේ, නිපුන් හත්වැල්ල, සදකැන් පතිරණ, කසුන් පෙරේරා, ළහිරු අත්තනායක, දිනුක ගිමිහාන, අසෙල් සිගේරා, නිපුන් චාමික, සුපුන් වරාගොඩ, රහල් අවිෂ්ක, දුෂාන් හෙට්ටිගේ සහ දිලීප ජයලත්

කණ්ඩායම් භාර ආචාර්ය: ප‍්‍රියංකර නන්දසේන මහතා, පුහුණුකරු: රොහාන් සොයිසා මහතා සහ සහය පුහුණුකරු: තුසර ද සිල්වා මහතා

නාලන්දා විදුහල් කණ්ඩායම:


මාලිංග අමරසිංහ (නායක), ඉසුරු සමරසිංහ (උප නායක), රවීන් දසනායක, කසුන් සදරුවන්, නිම්නක රත්නායක, දසුන් සෙනෙවිරත්න, තිනුර හෙට්ටිආරච්චි, කවිදු බණ්ඩාර, ඩිලාන් සුරවීර, අයන්ත ද සිල්වා, මලික් පීරිස්, අරෝෂණ කුමාර, ලක්‍ෂිත රසාංජන, සෙනුර පෙරේරා, උමේක්‍ෂ දිල්ෂාන් සහ අසෙල් කුලතුංග

කණ්ඩායම් භාර ආචාර්ය: චන්දන හේමසිරි මහතා සහ පුහුණුකරු: ඉමල් බොතේජු මහතා


අදහස් (1)

ආනන්ද - නාලන්දා 86 වැනි සුලෝහිත සංග‍්‍රාමය 7 - 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.