Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය

අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය ප්‍රකාශ කරන බවත් ඉදිරියේදී ජනපතිවරයා හා අගමැතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක කමිටු සාමාජිකයන් හා ක්‍රීඩා සමාජ සාමාජිකයෝ පිරිසක් සඳහන් කරති.


එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ පෙරේදා (25දා) පැවැති හමුවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබිණි. මේ හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ක්‍රීඩා සමාජ හා ක්‍රීඩා සංගම් 85න් 68ක් සහභාගී වූ බව සංවිධායකයෝ පැවසූහ.


ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රකාශයෙක් සඳහන් කළේ, මෙම හමුව සඳහා දිස්ත්‍රික් පුහුණුකරුවන්ද සම්බන්ධ වී සිටි බවත්, ඇතැම් ක්‍රීඩා සමාජවලින් හා සංගම්වලින් සාමාජිකයන් දෙදෙනා බැගින්ද එක්ව සිටි බවයි.

කෙසේ වෙතත් මෙම හමුව පිළිබඳව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊට පෙර දින එනම් (24දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටි අතර, ඔහු සඳහන් කළේ, අතුරුපාලක කමිටුවල අතීතයේ සාමාජිකත්වය දැරූවන් ඒ පිළිබඳව වර්තමානයේදී කතා කිරීම හාස්‍යයට කරුණක් බවත් ක්‍රිකට් ආයතනයේ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා සෙවීමෙන් පසුව නිලවරණයට යන බව.


මෙම රැස්වීම කුමන්ත්‍රණයක් බවත් එහි සිටි ඇතැම් පුද්ගලයන් මෙවර අතුරු කමිටුව පත්කිරීමේදී තමන්ට සහාය දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ සඳහා තමන් බිය වන්නේ හෝ යටත් වන්නේ නැතැයිද අමාත්‍යවරයා පැවැසීය.


කෙසේ වෙතත් තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රිකට් බවත් නිලවරණයක් නොතිබූ පමණින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා නොවැටෙන බවත් දිසානායක මහතා පවසා සිටියේය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා පවතින ගැටලුකාරී තත්ත්වය තමන් විසඳාගන්නා බවත් ඒ මහතා පැවැසීය.

 


හිටපු සාමාජිකයන් පත්කිරීම නුසුදුසු කාරණයක්

- ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස


අන්තර්පාලක කමිටුව පත්කරන්න එක් කාරණාවක් හැටියට පැවසුවේ, ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා සහගත කටයුතු වෙලා තියෙනවා කියන එක. ඉතින් එහෙම කියන ගරු ඇමතිතුමාල එහි හිටපු ගරු භාණ්ඩාගාරිකතුමාත් (නුෂ්කි මොහොමඩ්), තව එහි හිටපු සාමාජිකයොත් ආපසු අන්තර්පාලක කමිටුවට පත්කිරීම තනිකරම නුසුදුසු කාරණයක්.


ක්‍රිකට් පාලක මණ්ඩලයේ තමන් එක දිගටම අවුරුදු හතරක් සභාපති තනතුරේ හිටියානම් තමන්ට ඒ තනතුරට (සභාපති) නැවත එන්න බෑ.

නමුත් උපසභාපති කෙනෙක්, භාණ්ඩාගාරික  හරි ලේකම් හරි කමිටු සාමාජිකයෙක් ලෙස පත්වීමට අවසර  තිබෙනවා. දැන් ඒකත් පෙරළගෙන තියෙන්නේ අවුරුදු හතරකට පස්සේ තමන්ට මොනම තනතුරකටවත් ඉල්ලන්න බෑ කියන කාරණාව උඩ.,


 
 මුදල් එන එක නැවැත්වීම හොඳ දෙයක් නෙමෙයි

 - ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග


2011 තමයි (අන්තර්ජාතික  ක්‍රිකට් සභාව) අතුරුපාලක මණ්ඩල පත්වීම් හා දේශපාලන බලධාරීන් ක්‍රීඩාවට ඇතුළත් වීම සම්බන්ධයෙන් නීති ගෙනාවේ. සියලුම රටවල් එය 2012 දී අනුමත කළා. එනිසා තමයි අපිට 2012 දී නිලවරණයට යන්න අවස්ථාව ලැබුණේග ඒක ආවට පස්සේ එහෙම පත්කිරීම් (දේශපාලන පත්කිරීම්)  සිදුවුණොත් දැඩි ප්‍රහාරයකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට මුහුණපාන්න සිදුවෙනවා. දැනටමත් අපගේ මුදල් එන එක නවත්වලා තිබෙන්නේ. ඒක හොඳ දෙයක් නෙමෙයි.,

 


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්නය අපි විසඳගන්නම්

-සංචාරක හා ක්රීඩා අමාත්ය නවීන් දිසානායක

''මේවායේ හිටපු කට්ටියම අද චෝදනා කරනවා. ඒ වගේම අරුම පුදුම ලෝකයක අපි ජීවත් වෙන්නේ. අතුරු කමිටු හොඳයි කියපු අයම අතුරු කමිටුවට විරුද්ධව කරුණූ කියන්න මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා තියෙනවා. මේක හිනාවට කරුණක්. අතුරු කමිටුවක හිටිය පුද්ගලයෙක්  කොහොමද කියන්නේ අතුරු කමිටුව දැන් හොඳ නෑ කියල. එහෙනම් ඒ අයගෙ කාලෙ ඇයි අතුරු කමිටුෙවි හිටියේ. අවුරුද්දක් දෙකක් නෙවෙයි සමහර විට අවුරුදු හතර පහ අතුරු කමිටු වල ඉඳල තියෙනවා. ඒ අයගේ පරිපාලනය පටන්ගන්නේ අතුරු කමිටුවක ඉඳලා. ඒ අය කොහොමද ඒක හොඳ නැහැ කියන්නේ. මගේ තර්කය ඒකයි. ජාත්‍යන්තර කි‍්‍රකට් සභාවයි අපි අතරෙ තියෙන ප‍්‍රශ්නය අපි විසඳගන්නම්.

මේකට පිටින් ඇවිල්ලා විෂබීජ දාන්න අවශ්‍ය නෑ. මම වගකීමෙන් කියන්නේ මෙතන යන්නේ පෞද්ගලික න්‍යායපත‍්‍ර ඉටුකර ගැනීමට. මම අතුරු කමිටුවක් දාලා මේකෙ තියෙන දූෂණ හා අක‍්‍රමිකතා හොයලා හැකි ඉක්මනින් නිලවරණයකට යනවා. මම මෙක දීර්ඝ කාලීනව තියාගන්නේ නෑ. අපි මේවා ඉදිරිපත් කරන්නේ ශ‍්‍රද්ධාවෙන්. මේක ජනතාව දැනගන්න  ඕනෙ. මගේ න්‍යාය පත‍්‍රයේ ක‍්‍රිකට් නිලවරණය තිබ්බේ නෑ කියල ලංකාවේ ක‍්‍රිකට් කැඩෙන්නේ නෑ. මේක ඇත්ත වශයෙන්ම කුමන්ත‍්‍රණයක්. අපි ඒකට බය වෙන්නේ නෑ. යට වෙන්නෙත් නෑ.”

 


අදහස් (0)

අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.