Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශී‍්‍ර ලංකාවෙන් සවිමත් අඩිතාලමක්
දෙවැනි ටෙස්ට් තරගය (පළමු දිනය)

ශී‍්‍ර ලංකාවෙන් සවිමත් අඩිතාලමක්

editorial - 2021 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දිමුත් කරුණාරත්න (42) සහ පැතුම් නිස්සංක (නොදැවී 61) දෙදෙනාගේ තැන්පත් මෙන්ම උපායශීලී පිතිහරඹය නිසා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ගාල්ල කී‍්‍රඩාංගණයේදී අද අරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ මුල් දිනය අවසන් කරන විටත් සවිමත් අඩිතාලමක් දමාගෙන තිබිණ. ලෝක වාර්තාවක් සමකිරීමේ අවස්ථාව පෙනි පෙනී තිබියදී දිමුත් කරුණාරත්න ලකුණු 42 කට දැවී ගියද, දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය.

සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ තරගයක් වන නමුත් මෙය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ටෙස්ට් ලෝක ශූරතාවලියටද ඇතුළත් තරගයකි.

පළමු ටෙස්ට් තරගය ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට ප‍්‍රසාද ලකුණු 12 ක් හිමිකරගෙන සිටී.

අද පෙරුවරුවේදී පැවැති වර්ෂාව හේතුවෙන් පැය 4 කට ආසන්න තරග කාලයක් අපතේ ගිය අතර තරගය පස්වරු 3.00 ට ආරම්භ විය. පළමු  ඕවරයේ සිටම අලංකාර පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක, දිනය අවසන් කළේ නොදැවී ලකුණු 61 ක් ලබාගනිමිනි. ඔහුගේ පන්දු 109 ඉනිම හතරේ පහර 4 කින් සහ ලෝන්ග්  ඕෆ් කලාපයට ඉහළින් ගැසූ මනරම් හයේ පහරකින් අලංකාර විය.

අද තරගයේ පළමු ඉනිමේදී ලකුණු 50 ක් හෝ ඊට වඩා ලබාගත්තේ නම් පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී ලකුණු 50 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් පිතිකරුවන්ගේ කාණ්ඩයට ඇතුළත් වෙමින් ලෝක වාර්තාවක් සමකිරීමට දිමුත් කරුණාරත්නට අවස්ථාව තිබිණ. සිය අවසන් ටෙස්ට් ඉනිම 6 දීම පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ශී‍්‍ර ලංකා නායකයා එම ඉනිම 6 දී ලකුණු 733 ක් ලබාගත්තේ ඉනිමකකදී ලකුණු 122.16 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 6 දී ලකුණු ලබාගැනීම් වාර්තා වන්නේ 75, 244, 118, 66, 147 සහ 83 ක් ලෙසිනි.

දිනයේ අවසානයත්, ලෝක වාර්තාව සමකිරීමේ අවස්ථාවත් අත පොවන දුරින් තිබියදී රොස්ටන් චේස්ගේ පන්දුවකට ගැසූ පහර වැරදී යාමෙන් දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 42 දී නිමා විය. පිට පිටම ටෙස්ට් ඉනිම 6 කදී ලකුණු 50 සීමාව පසු කර ඇති පිතිකරුවන් 25 දෙනා අතරට දිමුත් කරුණාරත්න දැනටමත් එක්ව සිටී.

පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී ලකුණු 50 සීමාව පසුකර ගිය පිතිකරුවන් 6 දෙනාගේ ලයිස්තුවේ දැනට සිටින එකම ශී‍්‍ර ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාරයි. 2014 වසරේ දී බංගලාදේශයට එරෙහිව ත‍්‍රිත්ව ශතකයක් ඇතුඵව පිට පිට අර්ධ ශතක 7 ක් රැුස් කරමින් සංගක්කාර ලෝක වාර්තාව සමකළේය. වසර 144 ක ටෙස්ට් ඉතිහාසයේ මේ දක්වා කිසිම පිතිකරුවකු පිට පිටම ඉනිම 8 කදී අර්ධ ශතක කඩයිම පසුකර ගොස් නැත. එබැවින් දැනට ඇත්තේ පිතිකරුවන් 6 දෙනකු සතු සම ලෝක වාර්තාවකි.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම තෝරාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු හෝරාවේදී කිසිවකු නොදැවී ලකුණු 43 ක් ලබා සිටියේය. ඒ වන විටත් නොදැවී ලකුණු 27 ක් ලබා සිටි පැතුම් නිස්සංක කොදෙව් පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් සිටියේය.

දිමුත් කරුණාරත්න විසින් අද පස්වරුවේදී කාසියේ වාසිය උරගා බැලීමට පෙර චරිත් අසලංකට ටෙස්ට් හිස්වැස්ම පළඳවන ලදි. පළමු ටෙස්ට් තරගයේදී කී‍්‍රඩා කළ දුෂ්මන්ත චමීර මෙම තරගයේදී විවේක ගන්වා තිබේ. ඔහු වෙනුවට චරිත් අසලංක කැඳවා ඇත්තේ පිතිහරඹය ශක්තිමත් කිරීමේ අටියෙනි. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසි චරිත් අසලංක දීප්තිමත් අනාගතයක් හිමි වමත් පිතිකරුවකු වන අතර ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේත් නායකත්වය ද දැරීය.

පළමු ටෙස්ට් තරගයේදී කෝඩුකාරයා වූ නමුත් පන්දුවක් හිසේ වැදීම නිසා කම්පනයට පත්ව තරගයෙන් ඉවත් වූ ජෙරමි සොලොසානෝට කොදෙව් කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. සොලොසානෝ වෙනුවට පළමු තරගයේදී කී‍්‍රඩා කළ ෂායි හෝප් මෙම තරගයේදීත් නිල වශයෙන් කණ්ඩායමට එක්වී තිබේ.

කෙදෙව් පිලේ වෙනස්කම් දෙකකි. රකීම් කොන්වෝල් සහ ෂැනන් ගේබි‍්‍රයෙල් වෙනුවට වීරසාමි පෙරුමාල් සහ කෙමාර් රෝච් කණ්ඩායමට කැඳවා සිටිති.


අදහස් (0)

ශී‍්‍ර ලංකාවෙන් සවිමත් අඩිතාලමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.