Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවේ සත්කාරයට කොන්දේසියක්
වි-20 ශූරියන්ගේ කුසලාන - 2027

ශ්‍රී ලංකාවේ සත්කාරයට කොන්දේසියක්

editorial - 2022 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

 

තවත් වසර 5 කින් එනම් 2027 වසරේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී. විස්සයි-20 ශූරියන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය කොන්දේසි මත ශ්‍රී ලංකාවට ලබාදීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාවට එම තරගාවලියේ සත්කාරකත්වය දැරිය හැකි වන්නේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ නම් පමණි.

අදාල කාල වකවානුව තුළ කාන්තා ක්‍රිකට් ශේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින රටවල් 6ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය. 2027 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය තරග 16  කින් සමන්විත වේ.

තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායන නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව මනා දායකත්වයක් ලබා දෙන බවය. මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීම තුළින් ශ්‍රි ලංකාවට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් සංවර්ධන ගෝලීය ව්‍යාපෘතියේ කොටස්කරුවකු බවට පත්වීමට හැකිවනු ඇතැයිද එහිදී ඔහු පැවැසීය.

“මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීම තුළින් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට රට තුළ, කළාපය තුළ මෙන්ම ඉන් ඔබ්බටද ගෝලිය වේදිකාවක් නිර්මාණය කිරීමට හැකි වේවි” යැයිද ඇෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී 2024 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයටද, 2026 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තයටද, 2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවටද ලබාදීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව දැනටමත් පියවර ගෙන තිබේ.

මාටින් ස්නෙඩින් මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් අනු කමිටුවක අධීක්ෂණය යටතේ පැවැති තරගකාරී ලංසු තැබීමක් තුළින් උක්ත රටවල් සඳහා ලෝක ශූරතා තරගාවලින්හි සත්කාරකත්වයන් පිරිනමා තිබේ. ක්ලෙයාර් කෝනර්, සෞරව් ගංගුලි සහ රිකි ස්කෙරිට් යන මහත්වරු එම කමිටුවේ සෙසු නියෝජිතයෝ වූහ. අනු කමිටුව විසින් සත්කාරකත්වයන් සඳහා ලබාදෙන ලද නිර්දේශ අන්තර් ජාතික ක්‍රිකට් සභාව අනුමත කර තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ සත්කාරයට කොන්දේසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.