Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට ලකුණු 333 ක වාසියක්
ගාල්ල ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 333 ක වාසියක්

editorial - 2022 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)

ඕෂධ ප්‍රනාන්දුගේ අර්ධ ශතකයත් කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ අධිෂ්ඨානශීලී පිතිහරඹයත් නිසා පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) සවස මන්දාලෝකය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 329 ක් ලබා සිටියේය. මුල් ඉනිමේ වාසියත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට පාකිස්තානයට වඩා ලකුණු 333 කින් ඉදිරියෙන් සිටී.

තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබේ. ඊයේ සවස, කඩුල්ලක් දැවී ලකුණු 36 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කියා සිටියේ අද දිනයේ ලබාගන්නා සෑම ලකුණක්ම “රත්තරන් වගේ වටිනවා” යනුවෙනි. ඊට සාර්ථක ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ සම්පූර්ණ දිනයම පන්දුවට පහර දෙමින්, අද දිනය ඇතුළත පමණක් ලකුණු 293 ක් ලබාගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දින පෙරවරුවේදීත් පන්දුවට පහර දෙමින් වාසිය තවත් වැඩිකරගැනීමේ අටියෙන් සිටී. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් කියා සිටියේ ලකුණු 350 ක පමණ ඉලක්කයක් පාකිස්තානුවන්ට දිය හැකිනම්, ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට වඩාත් පහසුවෙන් තරගයේ ග්‍රහණය දැඩිකළ හැකි බවයි.

තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඕෂධ සහ කුසල්, ඉනිමේ මුල් කොටසේදී අවශ්‍ය ලකුණු සංඛ්‍යාව කණ්ඩායමට ගෙනැවිත් දුන්හ. දිවා ආහාරයෙන් පසුව යැවූ දෙවැනි පන්දුවේදීම ඕෂධ දැවී ගිය නමුත් එතැන් සිට ඉනිමේ බර කරට ගත් දිනේෂ් චන්දිමාල් තේ පානය වන තුරුත් සිය කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් නොදැවී ලකුණු 34 ක් ලබා සිටියේය.

ඕෂධ ප්‍රනාන්දු, පන්දු 125 කට මුහුණ දෙමින්, ඒවායින් 7 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ඉන් එකක් අඝා ෂල්මාන්ගේ හිසටත්, හතරේ සීමාවටත් ඉහළින් පියාඹා යමින් දර්ශන තිරය අසළින් පතිත විය.

තරමක් කලබලකාරී ස්වභාවයක් පෙන්නුම් කළ ඕෂධ ප්‍රනාන්දු සෑම අවස්ථාවකදීම පාකිස්තානු පන්දු යවන්නන් පීඩනයට පත්කිරීමට උත්සුක විය. ඕෂධගේ පිතිහරඹයෙන් සිදුවූයේ ආරක්‍ෂාව සහ ආක්‍රමණය යන අන්ත දෙක අතරේ පාකිස්තානු නායකයා අතරමංවීමයි.

තණතීරුවේ තත්ත්වය එන්න එන්නම අවදානම් සහගත වන බැවින්, හැකි තරම් ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායම දවාගැනීමට බාබර් අසාම් උත්සාහ කළ නමුත්, ඒ සඳහා ආක්‍රමණශීලී පිටියක් සකස් කිරීමට ඔහුට අවහිර කළේ ඕෂධ සහ මෙන්ඩිස් දෙදෙනාම නිර්භයව ලකුණු කරා යාමයි. පාකිස්තානුවන් යැවූ ඕවර 96 න් නොයිඳුල් ඕවර ලෙසින් සටහන් වූයේ ඕවර 10 ක් පමණි. ඒ හේතුවෙන් තම පන්දු රකින්නන් කිහිපදෙනකු පිටියේ ඈතට යැවීමට බාබර් අසාම්ට සිදුවිය. අතුරුඵලය වූයේ තනි ලකුණු කරා යාමට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනාට අවස්ථාව ලැබීමයි.

මේ කාරණාව නිසා දිවා ආහාරයත් තේ පානයත් අතරේ ලකුණු 125 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවූ නමුත් ඒ අතරේ කඩුලු 5 ක් බිඳ වැටිණ. තේ පානයෙන් පසුවද, පසුපෙළ කඩුලු 2 ක් පමණක් දෙමින් ලකුණු 72 ක් ලබාගැනීමට චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස් සහ මහීෂ් තීක්‍ෂණ සමත් වූහ.

පාකිස්තානු කණ්ඩායමක් හමුවේ තම හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඉතාම කළාතුරෙකින් දැකගත හැකි අංග සම්පූර්ණ පා දඟ පන්දුවකිනි. කුසල්ගේ පා ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව, පිත්ත පසුකර යමින් පිට ඉන්නේ වැදිණ. ධනංජය ද සිල්වාටත් ලැබුණේ එවැනිම ආකාරයේ කට උත්තර නැති පන්දුවකි.

මෙම තරගයට පෙර පාකිස්තානු කණ්ඩායමක් හමුවේ කුසල් මෙන්ඩිස් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 29 කි. එය වසර 2017 දී ඩුබායි නුවරදී පැවැති තරගයකදී ලබාගත්තේය. මෙම තරගාවලියට පෙර පාකිස්තානු කණ්ඩායම හමුවේ ඉනිම 8 ක් ක්‍රීඩා කර තිබූ නමුත් එම ඉනිම 8 දීම කුසල් ලබා සිටියේ ලකුණු 102 ක් පමණි. දැන් එය ඉනිම 9 කදී ලකුණු 178 ක් වී තිබේ.

ඕවර 29 ක් යැවූ යසීර් ෂා දවාගත්තේ කඩුලු 3 කි. එහෙත් ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිතිකරුවන් තිදෙනා වන ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා බැවින් ඔහුගේ දායකත්වය ඉහළ මට්ටමක තිබිණ.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 333 ක වාසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.