Last Update  :  2025-05-10 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයකින් 6 වැනි තැනට වැටෙයි
යොවුන් ලෝක කුසලාන

ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයකින් 6 වැනි තැනට වැටෙයි

editorial - 2022 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි ස්ථනය වෙනුවෙන් පැවැති තරගයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායම හමුවේ ලකුණු 238 ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති එම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 368 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට නායක කාසිම් අක්‍රම් ප්‍රමුඛ පාකිස්තාන යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 34.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක කාසිම් අක්‍රම් ලකුණු 37 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමුවේය. මුලු ලකුණු සංඛ්‍යාව 7 ක්ව තිබියදී මුල් පිතිකරුවන් තිදෙනාම පිටියෙන් ඉවත් කළ අක්‍රම්, ලකුණු පුවරුවට තවත් ලකුණු 8 ක් එක්වන විට සිවැවුනි කඩුල්ලද බිඳ දමමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මහත් අසීරු තත්ත්වයකට ඇද දැමුවේය.

ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ පළමු පන්දුවේදීම චමිඳු වික්‍රමසිංහ (0) දවාගත් අක්‍රම්, සිය දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී පවන් පතිරාජ (1) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් එහි අවසන් පන්දුවේදී ෂෙවොන් ඩැනියෙල්ගේ (5) කඩුල්ල බිඳ දැමුවේය. රනුද සෝමරත්න ලකුණු නොළබා දැවී ගියේද අක්‍රම්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි.

ලකුණු 15 කට කඩුලු 4 ක් බිඳවැටූ අඩ පණවී තිබූ ශ්‍රී ලංකා යොවුන් ඉනිම ගොඩනැගීමේ උත්සාහයක නිරත වූ සදිෂ රාජපක්ෂ (16) සහ දුනිත් වෙල්ලාල‍ගේ (40) පස්වැනි කඩුල්ලට ලකුණු 26 ක් එක්කළද, සිය පස්වැනි ගොදුර ලෙස සදිෂ දවාගත් අක්‍රම් එම උත්සාය ව්‍යර්ථ කළේය. ඉන් අනතුරුව පිටියට පිවිසි උප නායක රවීන් ද සිල්වාටද ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ වෙල්ලාලගේ පන්දු 67 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 40 රැස්කිරීමට සමත් විය. එහෙත් තරගයේ ප්‍රතිඵලයට බලපෑමක් කිරීමට තරම් ඔහුගේ පිතිහරඹ ප්‍රමාණවත් නොවීය. වැඩිම කඩුලු ලාභියා (කඩුලු 17) මෙන්ම වැඩිම ලකුණු ලාභීන් අතර 7 වැනියා (ලකුණු 264) ලෙස වෙල්ලාලගේ මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලිය නිමා කළේය.

නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස වෙල්ලාලගේ සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විනුජ රන්පුල්, ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පන්දු 58 කට මුහුණදුන් රන්පුල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 53 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 367 ක් ලබාගත්හ. එහිදී ට්‍රෙවීන් මැතිව්ගේ සහ සදීෂ රාජපක්ෂ හැර සෙසු පන්දු යවනන්නන්ගේ ඕවරවලදී ලකුණු 6 කට වැඩි ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවාගැනීමටද පාකිස්තාන යොවුන් පිතිකරුවෝ සමත් වූහ.

මුහම්මද් ශේෂාඩ් (73) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 145 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හසීබුල්ලා ඛාන් (136), ඉන් නොනැවතී නායක කාසිම් අක්‍රම් (නොදැවි 135) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙ‍නුවෙන් පන්දු 152 කදී ලකුණු 229 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

එහිදී පන්දු 151 කට මුහුණදුන් හසීබුල්ලා හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් සිය ශතකය සැරසුවේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක අක්‍රම්, පන්දු 80 කදී ලබාගත් ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 13 කින් සමන්විත විය. පන්දු 69 කදී වාර්තා වූ ශේෂාඩ්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමූ රවීන් ද සිල්වා පළමු කඩුල්ල ලෙස ශේෂාඩ් පිටියෙන් ඉවත් කළේය. පාකිස්තාන යොවුන් ඉනිමේ අවසන් ඕවරය ලකුණු 5 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගැනීමට මතීෂ පතිරණ සමත් වුවද, ඉන් පාකිස්තානුවන්ට කිසිදු බලපෑමක් ඇති නොවීය.

ඡායාරූප - අන්තර් ජාතික ක්‍රිකට් සභාව

-036


අදහස් (0)

ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයකින් 6 වැනි තැනට වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.