Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ (118) අලංකාර ශතකයත් චරිත් අසලංකගේ (72) චිත්තාකර්ශනීය පිතිහරඹයත් නිසා දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14 ක ජයක් ලබාගත්තේය. දකුණු අප්‍රිකානු පිතිකරුවන් අවසන් ඕවරය දක්වාම ලකුණු 301 ඉලක්කය හඹා ගියද 47 වැනි සහ 48 වැනි ඕවර දෙකම ලකුණු 9 කට සීමාකරගත් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර, දෙපිලටම දෝලනය වෙමින් තිබූ තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත නතර කරගත්තේය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේද 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.
නායක ටෙම්බා බවුමා සහ ඒඞ්න් මාක්රම් කිසිදු තර්ජනයකින් තොරවම ජයටැඹ කරා ගමන් කරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වීසිකළ පන්දුවක් මහපටැඟිල්ලේ වැදීමෙන් දකුණු අප්‍රිකානු නායකයා මහත් වේදනාවට පත්විය. වේදනාව වැඩිවීම හේතුවෙන් බවුමා ආපසු ක්‍රීඩාගාරයට යාමත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් මට්ටු කරමින් සිටි මාක්රම්ගේ දැවී යාමත් අතර පරතරය වූයේ ඕවර 2 කි.
එතැන් සිට පිතිකරුවන්ගේ ගෙල සිරකරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඕවර 12 කදී ලකුණු 55 කට දකුණු අප්‍රිකානුවන් නවතා ගත්හ. ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 91 සෙයා දකුණු අප්‍රිකානුවන් අවසන් ඕවර 10 දී අභීත ගමනක නිරත වූ නමුත් 46 සහ 47 වැනි ඕවර වලදී හසරංග සහ චමීර දෙදෙනා තරගයේ වාසිය ශ්‍රී ලංකා පිලට වෙත බැඳ තබාගත්හ.
අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක දෙදෙනා ප්‍රමුඛ ඉදිරිපෙළ පිතිකරුවන්ගේ මනා දායකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී පළමු වතාවට එක්දින තරගයකදී ලකුණු 300 කඩයිම පසුකර ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එක්දින තරගයකදී ලකුණු 300 ඉක්මවා ගොස් තිබුණේ වසර 2020 මාර්තු මාසයේදී කොදෙව් පිලට එරෙහිව පල්ලෙකැළේදී පැවැති තරගයේදීය.
තවමත් 23 හැවිරිදි පිතිකරුවකු වන අවිශ්කගේ 24 වැනි එක්දින තරගය මෙයයි. එහෙත් මේ ඔහුගේ තුන්වැනි එක්දින ශතකයයි. පන්දු 115 කට මුහුණදීමෙන් පසු අවිශ්ක දැවී ගියේ තබ්රේස් ශම්සිගේ පන්දුවකට ගැසූ පහරක් වැරදී යාමෙනි. ඒ වන විට ඔහුගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර 2 කින් අලංකාර වී තිබිණ.
ධනංජය ද සිල්වා සමගින් එක්ව ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අවිශ්ක පසුව පැමිණි චරිත් අසලංක සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 97 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවීය. ධනංජය ද සිල්වා පිටියේ සිටියදී, වඩාත් ජ්‍යෙෂඨ ක්‍රීඩකයාට ප්‍රහාරය බාරදී අවිශ්ක තම කඩුල්ල රැකගෙන සිටියේය. එහෙත් ධනංජයගේ දැවී යාමත් සමගින් ප්‍රහාරය ආරම්භ කළ දකුණත් පිතිකරුවා, මේ න විට ලෝකයේ සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්වනු වන කගීසෝ රබාඩා හමුවේ ඇදහිය නොහැකි පහරකින් ලකුණු 6 ක් ලබාගත්තේය. පසුව ඒඞ්න් මාක්රාම්ටත් එවැනිම පහරකින් සංග්‍රහ කරමින් සිය ප්‍රහාරක වේගය 80 න් ඉහළට ගෙනාවේය.
ධනංජය සහ අවිශ්ක දෙදෙනා 30 වැනි ඕවරය දක්වා සිය කඩුලු ආරක්‍ෂාකර ගැනීම අවසන් ඕවර 20 දී ශ්‍රී ලංකා පිතිකරුවන් දියත්කළ ප්‍රහාරය සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කළේය. පළමු ඕවර 30 න් ලකුණු 136 ක් පමණක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඕවර 20 දී ලකුණු 164 ක් ලබාගත්තේය.
ලකුණු වේගය වැඩිකිරීමේ අවශ්‍යතාව තදින්ම දැනෙමින් තිබූ අවස්ථාවකදී පිටියට පිවිසි චරිත් අසලංක සිය ජ්‍යෙෂ්ඨ පිතිකරුවා වූ අවිශ්ක සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද ඒ වෙනුවෙන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 71 කට පමණි.
ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් වූයේ නම් ඒ දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ කේෂව් මහාරාජ් (30/2) සහ තබ්රේස් ශම්සි (55/1) පමණි. සිය පළමු ඕවර 8 ම ලකුණු 41 කට සීමාකරගත් නමුත් ශම්සිගේ අවසන් ඕවර 2 දී ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 14 ක් උදුරා ගත්හ.
(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.