Last Update  :  2025-07-16 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ තරගය බේරාගනිති
ඕස්ට්‍රේලියානු සංචාරය

ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ තරගය බේරාගනිති

editorial - 2025 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි ඉනිමේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 104) ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගත්හ. ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවරදී පැවැති මෙම තරගයේ සිව්වැනි දිනය වූ අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 280 ක් ලබා සිටියේය. 

ඒ වන විටත් නුවනිඳු ප්‍රනාන්දු සහ පවන් රත්නායක (නොදැවී 56) පිටියේ රැඳී සිටියහ. 

සිය පළමු ඉනිම සඳහා ලකුණු 486 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම ලකුණු 214 ක් මුල් ඉනිමේ වාසියක් ලබාගත්තා පමණක් නොව, තරගයේ තුන්වැනි දිනය නිමාවීමට පෙර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුල්ලක් ද බිම දමමින් සංචාරකයන්ව පීඩනයට පත්කර තිබිණ. 
ලකුණු 165 ක් පසුපසින් සිටිමින් සිව්වැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තමන් වෙත එල්ල වී තිබුණු පීඩනයට සාර්ථකව මුහුණ දෙමින් කිසිදු අපහසුවකින් තොරවම ඕවර 81 ක් පුරා පිතිහරඹයේ යෙදුණහ. 

දිගු කලක සිටම ශ්‍රී ලංකා තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානයට ලක්ව සිටින නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක තිදෙනා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම තම කර මත තබාගෙන සිටියහ. මේ තිදෙනාම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටින්නෝ වෙති. 

ආරම්භක පිතිකරු කමිල් මිෂාර අද උදෑසන ලකුණු 35 කට දැවී ගියත් එතැන් සිට එක්වූ නුවනිඳු ප්‍රනාන්දු සහ නායක පසිඳු සූරියබණ්ඩාර දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක් එක් කරමින් දිවා ආහාරයෙන් ඔබ්බට තරගය රැගෙන ගියහ. 

සූරියබණ්ඩාරගේ දැවී යාමෙන් පසුව ඕස්ට්‍රේලියානු ‘ඒ’ පිලට ජයග්‍රහණය පිළිබඳ කිසියම් බලාපොරොත්තුවක් දළු ලමින් ආවේය. එහෙත් අනතුරුව පිටියට පිවිසි පවන් රත්නායක ද නිදහසේ පිත්ත හසුරුවමින්, පන්දු 96 කින් ලකුණු 56 ක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. 

හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසූ පවන් රත්නායක සහ පැය 6 කට ආසන්න කාලයක් පිටියේ රැඳුණු නුවනිඳු දෙදෙනාගේ පිතිහරඹය හේතුවෙන් තේ පානයටත් පෙර තරගය අතහැර දැමීම හැර වෙනත් විකල්පයක් ඕස්ට්‍රේලියානු ‘ඒ’ නායක ජේසන් සංගාට නොතිබිණ. 

රැඳුණු නුවනිඳු ප්‍රනාන්දු, පන්දු 218 කට මුහුණ දෙමින් හතරේ පහර 7 කින් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. 


ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 272 යි
ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 486 යි

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - දෙවැනි ඉනිම කඩුලු 3 ට 280 යි
(ළහිරු උදාර 17, කමිල් මිෂාර 35, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 104, පසිඳු සූරියබණ්ඩාර 56, පවන් රත්නායක නොදැවී 56)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ තරගය බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.