Last Update  :  2025-05-10 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් පිලේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වේ
යොවුන් ලෝක කුසලාන අ.අ.පූ. තරගය

ශ්‍රී ලංකා යොවුන් පිලේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වේ

editorial - 2022 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඇන්ටිගුවාහිදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන යොවුන් අර්ධ අවසන් පූර්ව තරගය ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 4 කින් පරාජයට පත්විය.
 
ලකුණු 43 කට කඩුලු 7 ක් බිඳ වැටී තිබියදී 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 69 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයේ බලාපොරොත්තු අලුත් කිරීමට දුනිත් වෙල්ලාලගේ සහ රවීන් ද සිල්වා සමත්වූහ.
 
දුනිත් වෙල්ලාලගේ පන්දු 61 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් සහ රවීන් ද සිල්වා පන්දු 84 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් ලබාගැනීමට සමත්වූහ.
 
ලකුණු 4 ක් තුළ දුනිත් සහ රවීන් දැවීයාමත් සමගින් ජයග්‍රහණය ශ්‍රී ලංකා යොවුන් පිලෙන් ගිලිහී යමින් තිබුණි. නමුත් අවසන් කඩුල්ලට එක්වූ විනුජ රන්පුල් සහ ට්‍රෙවීන් මැතිව් තවත් ලකුණු 14 ක් ඉනිමට එක්කරමින් ජයග්‍රහණය ආසන්නයට පැමිණියද අපරික්ෂාකාරී දුවද්දී දැවීයාමකට මැතිව් හසුවීමත් සමගින් ශ්‍රී ලංකා යොවුන් පිලට ලෝක කුසලාන බලාපොරොත්තු අවසන් කිරීමට සිදුවිය.
 
ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ කෙටි ලකුණු ලබාගැනීමට උත්සහ කිරීමෙන් දුවද්දී දැවීයාම් 4 කට පිතිකරුවන් හසුවීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට පරාජය උරුම විය.
 
බිලාල් සාමී ලකුණු 33 කට කඩුලු 2 ක් ද, නවීඩ් සද්‍රාන්, නූර් අහ්මඩ්, ඉශරුල්හක් නවීඩ් සහ නගේයාලියා කරෝටේ කඩුල්ල බැගින් දවාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
 
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන යොවුන් පිලට විනුජ රන්පුල් (10/5) ඇතුළු ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ ඕවර 47.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි.
 
ඕවර 7 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 20 ක පමණ කාළයක් නතර කිරීමට සිදුවුවද තරගයේ නියමිත ඕවර සංඛ්‍යාවේ අඩුවීමක් සිදු නොවීය.
 
ලකුණු 26 ක් තුළ මුල් පෙළ කඩුලු 4 ක් දවාගනිමින් ඇෆ්ගනිස්තාන යොවුන් පිලේ කොඳු නාරටිය බිඳ දැමීමට ශ්‍රී ලංකා යොවුන් පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.
 
කඩා වැටුණු ඇෆ්ගනිස්තාන යොවුන් ඉනිම ගොඩනැගීමට අල්ලා නූර් සහ අබ්දුල් හාඩී උත්සහ කළද පස්වැනි කඩුල්ල ලෙස අල්ලා නූර් දැවීයාමත් සමගින් ඔවුන්ගේ ලකුණු 47 ක සබධතාවය බිඳ වැටුණි.
 
ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ ඉනිම පුරා ගොඩනැගුණු දක්ෂ පන්දු යැවීම හමුවේ මන්දගාමී පිතිහරඹයක නිරත වූ ඇෆ්ගනිස්තාන යොවුන් පිතිකරුවන්ට ඉන් මිදීමට අවස්ථාවක් හිමිනොවීය.
 
අල්ලා නූර් පන්දු 58 කදී හතරේ පහරක් සමගින් ලකුණු 25 ක් සහ අබ්දුල් හාඩී පන්දු 97 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් ලබාගැනීමට සමත්වූහ. පසුපෙළ පිතිකරුවකු වූ නූර් අහ්මඩ් පන්දු 33 කදි හයේ පහර 4 ක් සමගින් රැස්කළ ලකුණු 30 හේතුවෙන් පන්දු යවන්නන්ට සටනක් දියහැකි ඉනිමක් කරා යාමට ඇෆ්ගනිස්තාන යොවුන් පිලට හැකි විය.
 
අබ්දුල් හාඩී සහ නූර් අහ්මඩ් එක්ව 7 වැනි කඩුල්ල සඳහාද පන්දු 62 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.
 
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බලාපොරොත්තු නොවූ ආකරයෙන් යසිරු රුද්‍රිගූ යැවූ තරගයේ 44 වැනි ඕවරයේදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 19 ක් සහ දුනිත් වෙල්ලාලගේ යැවූ 45 වැනි ඕවරයේදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 13 ක් ලබාගැනිමට අබ්දුල් හාඩී සහ නූර් අහ්මඩ් සමත්වූහ.
 
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විනුජ රන්පුල් ඕවර 9.1 කදී නිලකුණු ඕවර 3 ක් ද සමගින් ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගනිමින් ඇෆ්ගනිස්තාන යොවුන් පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්විය. මේ දක්වා තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 36 කට කඩුලු 3 ක් ද, යසිරු රුද්‍රිගූ සහ ටේ‍රවින් මැතිව් කඩුල්ල බැගින් දවාගනිමින් ඇෆ්ගනිස්තාන යොවුන් පිල අඩාල කිරීමට උත්සහ දැරූහ.
 
ඇෆ්ගනිස්තාන යොවුන් පිල - ඕවර 47.1 කදි සියලුදෙනා දැවී  134
(අල්ලා නූර් 25, අල්ලා නූර් 37, නූර් අහ්මඩ් 30, විනුජ රන්පුල් 10/5, දුනිත් වෙල්ලාලගේ 36/3) 
 
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 46 කදී සියලුදෙනා දැවී 130
(දුනිත් වෙල්ලාලගේ 34, රවීන් ද සිල්වා 21, බිලාල් සාමී 33/2)

අදහස් (1)

ශ්‍රී ලංකා යොවුන් පිලේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වේ
  • Rasika Friday, 28 January 2022 01:29 PM

    ඉලක්කය ළඟයි, ගමන දුෂ්කරයි..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.