Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා පිතිකරුවෝ හිස් ඔසවති
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා පිතිකරුවෝ හිස් ඔසවති

editorial - 2023 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිමුත් කරුණාරත්න (50) සහ කුසල් මෙන්ඩිස් (87) දෙදෙනාගේ ශතක සම්බන්ධතාවත්, මැද පෙළ පිතිකරුවන්ගේ අභීත පිතිහරඹයත් නිසා ක්‍රයිස්ට්චර්ච් නුවරදී අද (9 වැනිදා) ආරම්භ වූ පළමුවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා පිතිකරුවෝ හිස් ඔසවාගත්හ.

වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් දිනය අවසානයේදී පැවැති මන්දාලෝකය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටියේය.

ධනංජය ද සිල්වා (නොදැවී 39) සහ කසුන් රාජිත (නොදැවී 16) පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක ටිම් සවුති පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේ හැග්ලි ඕවල් පිටියේ තණතීරුව කොතැනද හතරේ සීමාව කොතැනද කියා හඳුනාගැනීමට බැරි තරමට කඩුලු අතර තීරුව කොළ පැහැයෙන් බැබළෙමින් තිබූ බැවිනි.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13 කට දැවී ගිය නමුත්, නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා නවසීලන්ත නායකයාගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන්කර දැමූහ.

දිවා ආහාරය සඳහා දෙදෙනා ක්‍රීඩාගාරයට ගියේ කඩුලු 1 කට ලකුණු 120 ක් පුවරුවට එක් කිරීමෙන් පසුවය.

මෙන්ඩිස් තරමක් ආක්‍රමණශීලී වූ අතර පන්දු 83 කින් ඔහු ලබාගත් ලකුණු 87 ට හතරේ පහර 16 ක් ඇතුළත් වී තිබිණ. මෙන්ඩිස්ගේ ආක්‍රමණයට ඉඩ ප්‍රස්ථාව ඉතිරි කරමින්, සැබෑ ටෙස්ට් පිතිකරුවකුගේ විලාසයෙන්, තැන්පත් පිතිහරඹයක යෙදුණු දිමුත් කරුණාරත්න ආරක්‍ෂා විය යුතු පන්දු හමුවේ ආරක්‍ෂාවත්, දුර්වල පන්දුව දුටුතැන ආක්‍රමණයත් කදිමට අනුගමනය කළේය.

ලකුණු 151 දී දිමුත් සහ කුසල් දෙදෙනාම දැවී යාමෙන් පසුව තරගයට වර්ෂාවෙන් බාධා පැමිණියේය. තේ පානය පසුවට දමමින් පස්වරු 3.00 ට ක්‍රීඩාව යළි ආරම්භ කළ නමුත් ලකුණු සංඛ්‍යාව 209 ක් ව තිබියදී නැවත වරක් වර්ෂාවෙන් බාධා පැමිණියේය.

වර්ෂාවෙන් පසුව දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව නවසීලන්ත පන්දු යවන්නන්ට තැලූහ. බ්ලෙයාර් ටික්නර්ගේ ඕවරයකදී පිට පිටම හතරේ පහර තුනක් ගැසූ චන්දිමාල් ලකුණු 12 සිට 24 දක්වා පැනගත්තේය. එතැන් සිට නොබියව පන්දුවට මුහුණ දුන් චන්දිමාල් දැවී ගියේ ඔහුට ලැබුණු ඉතාමත් හොඳ පන්දුවකිනි.

චන්දිමාල් හමුවේ නීල් වැග්නර්ගේ උපාය වූයේ දිගින් දිගටම පා ඉන්න එල්ලයේ කෙටි පන්දු යවමින් ‘පුල්’ හෝ ‘හුක්’ පහරක් කරා පිතිකරුවා පොළඹවා ගැනීමයි. මෙම සටනින් පිතිකරුවා ජයගත් බැනින් ටිම් සවුතී වෙනත් උපායක් යොදා ගත්තේය.  

පිට ඉන්නට මඳක් එපිටින් වැටුණු සවුතිගේ පන්දුව චන්දිමාල්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් හි සිට ටොම් ලෙතම්ගේ දෑත් අතර සැඟවී යද්දී, ඔහුගේ ටෙස්ට් ලකුණු 5000 කඩයිම ලකුණු 25 ක් ඈතින් තිබුණේය. චන්දිමාල් ආපසු ක්‍රීඩාගාරයට පියමං කරන විට සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 82 ක් වී තිබිණ.

අද තරගයේදී 47 වැනි ලකුණ සම්පූර්ණ කිරීමත් සමගින් ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 කඩයිම පසුකර ගියද ඔහුට පිටියේ රැඳිය හැකිවූයේ තවත් එක පන්දුවක් පමණි. මැතිව් හෙන්රිගේ ඊළඟ පන්දුව මැතිව්ස්ගේ පිත්තේ වැදී පළමු ස්ලිප් හිටි ඩැරිල් මිචෙල් සොයා ගියේය. ඒ වන විට පන්දු 98 කට මුහුණ දී සිටි හිටපු නායකයාගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සමන්විත වී තිබිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර මැතිව්ස් පසුපසින් සිටින්නේ කුමාර් සංගක්කාර (12,400) සහ මහේල ජයවර්ධන (11,814) දෙදෙනාට පමණි.

නිරෝෂන් දික්වැල්ලට තමන්ගේ ටෙස්ට් දිවිය එපා වී ඇති සෙයකි.

ආරම්භයේ සිටම දික්වැල්ල පන්දුවට පහර දුන්නේ ඉදිරි පාදයේ පහර සම්පූර්ණයෙන්ම අමතක වී ඇති සැටියෙනි. මයිකල් බ්‍රේස්වෙල්ගේ පළමු පන්දුවම, පිට ඉන්න ඔස්සේ පැමිණ දික්වැල්ලගේ පිත්තටම ලැබුණ නමුත් ඊට ස්වීප් පහරක් ගැසූ පිතිකරුවා දැවී ගියේ තවත් ස්වීප් පහරක් ගැසීමට යාමෙනි.

හෙට තරගයේ දෙවැනි දිනයයි


අදහස් (0)

ශ්‍රී ලංකා පිතිකරුවෝ හිස් ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.