Last Update  :  2025-10-21 23:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා නායකත්වය යළිත් ළහිරුට
හොං කොං සික්සර්ස් - 2025

ශ්‍රී ලංකා නායකත්වය යළිත් ළහිරුට

editorial - 2025 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
 
හොං කොං ක්‍රිකට් සංගමයේ සංවිධානත්වයෙන් හොං කොං රාජ්‍යයේදී පැවැත්වෙන 21 වැනි හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්ව තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුෂංකට හිමිව තිබේ. ඉකුත් වසරේදී (2024) පැවැති හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේද ළහිරුගේ නායකත්වය යටතේමය.
 
නොවැම්බර් මස 7, 8 සහ 9 යන දිනවල ටින් ක්වොන්ග් රොඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සය සාමාජික ක්‍රිකට් තරගවලියට ශ්‍රී ලංකාවද සමග රටවල් 12 ක් සහභාගි වේ. මෙවර තරගාවලිය තරග 30 කින් සමන්විත වන අතර එහි මූලික වටයේදී එක් කාණ්ඩයකට රටවල් 3 බැගින් වූ කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වේ.
 
ඉකුක් වසරේදී පැවැති තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතය එක් වෙනස්කමක් සමග මෙවර තරගාවලියට එක්වන අතර එහිදී කඩුලු රකින ක්‍රීඩක සඳුන් වීරක්කොඩි වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක සචිත ජයතිලක සංචිතයට ඇතුළත්ව සිටියි. මොවින් සුබසිංහ ශ්‍රී ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර තිබේ.
 
මෙවර තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානය, නේපාලය සහ දකුණු අප්‍රිකාව ‘ඒ’ කාණ්ඩය යටතේද, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේද, ඉන්දීයාව, කුවේට් සහ පාකිස්තානය ‘සී’ කාණ්ඩය යටතේද, බංග්ලාදේශය, හොං කොං සහ ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.
 
මූලික වටයේදී එක් එක් කාණ්ඩවල මුල් ස්ථාන 2 ට ඇතුළත්වන කණ්ඩායම් 8 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් 4 ට බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත. අවසන් පූර්ව වටයේදී ජය ලබන කණ්ඩායම් 4 කුසලාන ශූරතාව සඳහාද, පරාජයට පත්වන කණ්ඩායම් 4 පළඟ ශූරතාව සඳහාද තරග වදිනු ඇත.
 
මේ දක්වා පැවැති හොං කොං සික්සර්ස් තරගාවලි 20 න් අවස්ථා 2 කදී (2007 සහ 2024) ශ්‍රී ලංකාව ශූරයන් බවට පත්ව ඇති අතර තවත් අවස්ථා 2 කදී (1993 සහ 2004) අනු ශූරයන් බවට පත්ව ඇත. එහිදී වැඩිම වාර සංඛ්‍යාවක් ශූරයන් බවට පත්වූ රටවල් ලෙස පාකිස්තානය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව හැඳින්විය හැකි අතර ඔවුන් අවස්ථා 5 කදී බැගින් මෙම තරගාවලියේ ශූරයන් බවට පත්ව ඇත.
 
ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා සංචිතය
ළහිරු මධුෂංක (නායක), ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ළහිරු සමරකෝන්, තරිඳු රත්නායක, සචිත ජයතිලක සහ මොවින් සුබසිංහ (අතිරේක) 

 


අදහස් (0)

ශ්‍රී ලංකා නායකත්වය යළිත් ළහිරුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.