Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වෙල්ලාලගේගේ ශතකය ශ්‍රී ලංකා යොවුන් පිල දිනවයි
යොවුන් ලෝක කුසලාන

වෙල්ලාලගේගේ ශතකය ශ්‍රී ලංකා යොවුන් පිල දිනවයි

editorial - 2022 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලයේ ශ්‍රේණිගකිරීමේ තරගයකදී දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 65 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියේ 5 වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීම සඳහා අවස්ථාව උදාකර ගත්හ.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ පාකිස්තාන යොවුන් කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර ‍අද (31 වැනිදා) තවත් තරගයක් පැවැත්වීමට නියමිත අතර ඉන් ජයගන්නා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ 5 වැනි සහ 6 වැනි ස්ථාන වෙනුවෙන් පෙබරවාරි මස 3 වැනිදා තරග වැදීමට නියමිතය.

ඇන්ටිගුවාහි, ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට ශ්‍රී ලංකා යෙවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 37.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවීන් ද සිල්වා, ෂෙවෝන් ඩැනියෙල් සහ ට්‍රෙවීන් මැතිව් කඩුලු 2 බැගින් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. එහිදී වනුජ සහන් සහ නායක දුනිත් වෙල්ලාගේ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. වෙල්ලාලගේ සහ රවීන් දක්ෂ පන්දු යැවීම්වල නිරත වෙමින් දුවද්දී දවාගැනී‍ම් දෙකකට දායක වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 17 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට ක්වේනා මප්හකා සමත් විය. සිවුවැනි පිතිකරුවා වූ සකුණ ලියන‍‍ගේද ලකුණු නොලබා දැවී යෑම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මහත් අසීරු තත්ත්වයකට ඇද වැටිණ.

කෙසේ වුවත් අගනා පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් ලබාගත් දුනිත් වෙල්ලාලගේ (113) ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම අසීරු තත්ත්වයෙන් මුදවා ගත්තේය. ෂොවොන් ඩැනියෙල් (29) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෙල්ලාලගේ, ඉන් නොනැවතී රනුද සෝමරත්න (නොදැවී 57) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 140 කදී ලකුණු 130 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

ලකුණු ලබාගැනී‍ම වේගවත් කිරීමට ගත් උත්සාහයකදී ක්වේනා මප්හකාගේ පන්දුවක් හමුවේ මයිකල් කෝප්ලන්ඩ් අතට උඩ පන්දුවක් දෙමින් වෙල්ලාලගේ දැවී ගියේය. පන්දු 54 කට මුහුණදුන් ඩැනියෙන් හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර ශ්‍රී ලංකා යොවුන් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි සෝමරත්න පන්දු 70 කදී ලබාගත් සිය අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් අලංකාර කළේය.

 

- 036


අදහස් (0)

වෙල්ලාලගේගේ ශතකය ශ්‍රී ලංකා යොවුන් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.