Last Update  :  2025-05-10 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වර්ල්ඩ් ජයන්ට්ස් ප්‍රවීණයන්ගේ ලීගය දිනයි

වර්ල්ඩ් ජයන්ට්ස් ප්‍රවීණයන්ගේ ලීගය දිනයි

editorial - 2022 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕමානයේ අල් අමෙ‍රත් ක්‍රීඩාංගණයේදී පළමු වරට පැවැති ප්‍රවීණයන්ගේ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ‘වර්ල්ඩ් ජයන්ට්ස්‘ කණ්ඩායම සෙනසුරාදා (29 වැනිදා) සමත් විය. ලෝකයේ යෝධයෝ යන අර්ථය හිමි වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අවසන් මහ තරගයේදී ඒෂියා ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කරමින් මෙම ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඒෂියා ලයන්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 231 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇල්බි මෝකල් ලකුණු 35 කට කඩුලු 3 ක්ද, මොනිටි පනීසාර් ලකුණු 40 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහර කළහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ තිලකරත්න ඩිල්ෂාන් (25) සහ සනත් ජයසූරිය (38) ඒෂියා ලයන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 23 කදී වාර්තා වූ ජයසූරියගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 16 කදී වාර්තා වූ ඩිල්ෂාන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

එහිදී ජයසූරිය ෆ්ලික් පහරකින් ගැසූ හයේ පහරද, ඩිල්ෂාන් ඩිල් ස්කුප් පහරකින් ගැසූ හයේ පහරද නරඹන්නන්ගේ මතකයන් අලුත් කළේය. කෙසේ වුවත් මෝනි මෝකල්ගේ පන්දුවක් හමුවේ ඩැරන් සැමී අතට උඩ පන්දුවක් දෙමින් ඩිල්ෂාන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

ජයසූරිය දැවී ගියේ ඇල්බි මෝකල් වේගය අඩාල කර යැවූ පන්දුවකට ගැසූ පුල් පහරිකින් ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට කෙවින් පීටර්සන් සමත්වීම හේතුවෙනි.  

 මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් අර්ධ ශතක 3 ක් සමග ලකුණු 223 ක් ලබා සිටි උපුල් තරංගට මෙම තරගයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග පන්දු 16 කින් ලබාගත හැකි වූයේ ලකුණු 25 ක් පමණි. සීමාවෙන් ඉදිරියට පැන ලෝන් ඕෆ් කළාපයට ඉහළින් පහර ගැසීමට ගත් උත්සාහයක් වැරදී යෑමෙන් මොන්ටි පනීසාර්ගේ පන්දුවක් හමුවේ තරංගගේ කඩුල්ල බිඳ වැටිණ.

 තරංගගේ දැවී යෑමෙන් පසුව ඒෂියා ලයන්ස් ලකුණු පුවරුවට තවත් ලකුණු 3 ක් එක්වෙද්දී ඇල්බි මෝකල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක පිල් මුස්ටාඩ් අතට උඩ පන්දුවක් දෙමින් නායක මිස්බා උල්හක්ද (2) දැවී ගියේය. ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමූ අස්ගර් ඇෆ්ගන් පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කළ අතර ඔහු දැවී ගියේ හතරේ සීමාව අසලදී කෙවින් පීටර්සන් සහ ඩැරන් සැමී එක්ව රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙනි.

 ඒෂියා ලයන්ස් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මොහොමඩ් යූසූෆ් පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 39 ක් රැස්කළ අතර මොහොමඩ් රෆීක් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද, නුවන් කුලසේකර පන්දු 6 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 17 ක්ද ලබාගත්හ.

කෙවින් පීටර්සන් යැවූ අවසන් ඕවරයේදී චමින්ද වාස් (15) පිට පිටම හයේ පහර 2 ක්ද, මුත්තයියා මුරලිදරන් (නොදැවී 6) එක් හයේ පහරක්ද එල්ල කරමින් නරඹන්නන් කුල්මත් කළහ‍. මෝනි මෝකල්, රයන් සයිඩ්බොටම් සහ කෙවින් පීටර්සන් එක් කඩුල්ල බැගින් දවාගනිමිනි වර්ල්ඩ් ජයන්ට් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

 පළමුවෙන් පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් ක්‍රීඩකයෝ අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 256 ක් ලබාගත්හ. එහිදී ඒෂියා ලයන්ස් පන්දු යවන්නන්ට එලව එලවා පහරදුන් කෝරි ඇන්ඩසන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 43 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 94 ක් රැස්කළේය.

 එහිදී බ්‍රැඩ් හැඩින් (37) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඇන්ඩසන්, ඉන් නොනැවතී නායක ඩැරන් සැමී (38) සමග එක්ව පස්වැනි කඩුල්ලට පන්දු 33 කදී ලකුණු 80 ක්ද, ඇල්බි මෝකල් (නොදැවී 17) සමග එක්ව හයවැනි කඩුල්ලට පන්දු 19 කදී ලකුණු 57 ක්ද එක්කරමින් වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

හැඩින් පන්දු 16 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගද, සැමී පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගද ලකුණු රැස්කළහ. වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පන්දු 22 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 48 ක් රැස්කළ කෙවින් පීටර්සන්, අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී චමින්ද වාස්ගේ පන්දුවක් හමුවේ මිස්බා උල්හක් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගි‍යේය.

වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රභලම පිතිකරුවන් දෙදෙනකු වූ පිල් මුස්ටාඩ් (7) සහ කෙවින් ඕ’බ්‍රයන් (2) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගත් නුවන් කුලසේකර, කඩුලු රකින ක්‍රීඩක උපුල් තරංගගේ සහාය ඇතිව ඩැරන් සැමීද පිටියෙන් ඉවත් කළේය. බ්‍රැඩ් හැඩින් දැවී ගියේ මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ තිලකරත්න ඩිල්ෂාන් අතට උඩපන්දුවක් දෙමිනි.


වර්ල්ඩ් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 256
(කෙවින් පීටර්සන් 48, කෝරි ඇන්ඩසන් නොදැවී 94, බ්‍රැඩ් හැඩින් 37, ඩැරන් සැමී 38, ඇල්බි මෝකල් නොදැවී 17, නුවන් කුලසේකර 45/3)

ඒෂියා ලයන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට  231
(තිලකරත්න ඩිල්ෂාන් 25, සනත් ජයසූරිය 38, උපුල් තරංග 25, අස්ගර් ඇෆ්ගන් 24, මොහොමඩ් යූසෆ් නොදැවී 39, මොහොමඩ් රෆීක් 22, නුවන් කුලසේකර 17, චමින්ද වාස් 15, ඇල්බි මෝකල් 35/3, මොන්ටි පනේසාර් 40/2)

-036


අදහස් (0)

වර්ල්ඩ් ජයන්ට්ස් ප්‍රවීණයන්ගේ ලීගය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.