Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මේක තරුණයන්ට ලැබුණු අවස්ථාවක්

මේක තරුණයන්ට ලැබුණු අවස්ථාවක්

යොහාන් භාසුර - 2019 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව මේ මස 27 වැනිදා පාකිස්තානයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට අහම්බයෙන් ලැබෙන අනගි අවස්ථාවක් බව එම සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායක ළහිරු තිරිමාන්න පැවසීය. ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) පෙරවරුවේ පාකිස්තානය බලා පිටත්ව ගියේය.
 
මෙම සංචාරය පිළිබඳව තිරිමාන්න වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මෙම සංචාරය වඩාත් වැදගත් කියලා මම හිතනවා. අපි ඉතාමත් හොඳින් පුහුණුවීම් කළා. පාකිස්තානයත් ඉතාමත් හොඳ කණ්ඩායමක් මේ තරගාවලියට නම් කරලා තියෙනවා”

“පාකිස්තානු කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ වැඩි පිරිසක් ඉන්නවා. අලුත් ක්‍රීඩකයොත් ඉන්නවා. අපේ ප්‍රබල ක්‍රීඩකයන් නැති වුණාට වැඩි දෙනෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරපු අය. පාකිස්තානු කණ්ඩායම තරම් ශක්තිමත් නැති වුණත්  මම හිතනවා මේ කණ්ඩායම සමඟ තරගාවලිය ජය ගන්න අපිට හැකියාව තියෙනවා”

“අපේ කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව ඉන්වා. විශේෂයෙන්ම ඔවුන්ට වඩාත් වැදගත් වෙයි”
“සියලුම දෙනාම හිතන්න ඕනෙ මේ හොඳ අවස්ථාවක් කියලා. මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ අහම්බයෙන්. ඒක තරුණ ක්‍රීඩකයන් තේරීම්ගත යුතුයි. නායකයා හැටියට මටත් ලොකු වගකීමක් තියෙනවා”

මෙම සංචාරයේදී වඩාත් කථා බහට ලක්වූ ආරක්‍ෂාව පිළිබඳව තිරිමාන්න මෙසේ අදහස් දැක්වීය.
 
“අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො සංචාරයෙන් ඉවත්වුණේ ආරක්‍ෂාව ඇතුළු හේතූන් නිසයි. අපි ඔවුන්ගේ එම තීරණයටත් ගරුකළ යුතුයි”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිව දැනුවත් කළා ආරක්‍ෂාව ලැබෙන්නෙ කොහොමද කියලා. එය ඉදිරිපත් කිරීමක් හැටියට සියලුම ක්‍රීඩකයන්ට පෙන්නුවා. ගොඩක් අය සතුටු වුණා. සමහර අය අකමැති වුණා. ඒක පෞද්ගලික මතය. පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරලා එළඹිය යුතු තීරණයක්. මම මගේ පවුල සමඟ සාකච්ඡා කළා. එහිදී ඔවුන් අකමැත්තක් පළකළේ නෑ” යයිද තිරිමාන්න පැවසීය.

විස්සයි20 පිලේ පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් තමන්ට ලැබුණ හොත් සාර්ථක විහැකි යැයි විශ්වාස කරන බව පාකිස්තානයේ තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක ‘ලංකාදීප’යට පැවසීය.

“නායකත්වය ලැබීම හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. හොඳ කණ්ඩායමක් ලැබී තිබෙනවා. කණ්ඩායම පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙනවා”

“මම එක්දින තරගවල තමයි පසුගිය කාලයේ වැඩි දස්කම් දක්වලා තියෙන්නේ. එක්දින තරග තුනක් තියෙනවා. මම හිතනවා මට පිතිකරු ලැයිස්තුවේ උඩ තැනක් ලැබෙයි කියලා”

“එක්දින තරගයක් ජයග්‍රහණ කරවීමේ හැකියාව මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම මගේ ඉලක්කයයි”

“විස්සයි20 කණ්ඩායම ගැන කථා කළොත් ධනුෂ්ක ගුණතිලක සහ අවිෂ්ක ප්‍රනාන්දු ගැන මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දෙපළ වැඩි ඕවර සංඛ්‍යාවක් ක්‍රීඩා කළ යුතුයි”

“මම දේශීය වශයෙන් පැවැති විස්සයි20 තරගවල ශතක තුනක් රැස්කරලා තියෙනවා. ඒ ශතක තුනම රැස්කළේ පිතිකරු ලැයිස්තුවේ උඩින් පන්දුවට පහර දීලයි. නමුත් මම විස්සයි20 ජාතික කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ යටින් පන්දුවට පහර දෙන නිසා සාර්ථක වෙන්න ලැබුණේ නෑ”

“බොහෝ අවස්ථාවලදී මට ලැබුණෙ පන්දු 10 ක් විතර තමයි. ඒ 10 යේදී මගෙන් කණ්ඩායම මෙන්ම ප්‍රේක්‍ෂකයන් බලාපොරොත්තු වෙන්නේ විශාල පහරවලින් ලකුණු රැස්කිරීමයි. විස්සයි20 තරගවලදී තාක්‍ෂණයෙන් පිරිපුන් පිතිකරුවකු ලෙස ලකුණු රැස්කරන්න ලැබෙන්නෙම නෑ”

“මම හිතනවා මේ තරගාවලියේදී මට උඩින් පන්දුවට පහර දෙන්න අවස්ථාව ලැබී සාර්ථක වෙලා මගේ සුපුරුදු රිද්මයට එන්න පුළුවන් වෙයි කියලා” යයිද දසුන් ශානක පැවසීය.

මෙම තරගාවලියේ එක්දින තරග තුන මේ මස 27, 29 සහ ඔක්තෝබර් 03 යන දිනවල කරච්චියේදී පැවැත්වේ. විස්සයි20 තරග තුන ඔක්තෝබර් මස 5, 7 සහ 9 දිනවල ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත සහ ළහිරු කුමාර

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, මිනෝද් භානුක, ළහිරු මධුසංඛ, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ ළහිරු කුමාර     

 


අදහස් (0)

මේක තරුණයන්ට ලැබුණු අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.